රැදවියන්ට නිවෙස්වලට කතා කිරීමට නොමිලේ දුරකතන පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) –ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැදවියන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අවස්ථාව අහිමිවී ඇත.

එවැනි තත්වයක් යටතේ රැදවියන්ට තම ඥාතීන් සමග සබදතා පවත්වාගැනීමට නොහැකිවී ඇති බැවින් බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ගයෙන් රැදවියන්ට සිය නිවෙස්වෙත කතාකිරීමේ අවස්ථාව සලසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් පුරා නොමිළේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස අමාත්‍යවරිය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන්ද ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව අද(16) දින සිට රැදවියන්ට සිය නිවෙස්වෙත නොමිළේ ඇමතුම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

භාහිර පාර්ශවයන්ට බන්ධනාගාර පද්ධතිය වසා ඇති තත්වයකදී සිය ඥාතීන් සමග සබදතා පවත්වා ගැනීමට නොහැකි වීමෙන් රැදවියන්ගේ මානසික මට්ටම පහත වැටීමට එය හේතුවක් වීමට ඉඩ ඇති බැවින් රැදවියන්ට සිය නිවෙස් සමග දුරකතන මගින් හෝ සබදතා පවත්වා ගැනීමට අවස්ථාව සැලසීම මගින් රැදවියන් තුල ඇතිවන ආතතිය යම්තරමකට හෝ අවමකර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

එමෙන්ම රැදවියන්ගේ කෑම බීම සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත ඇමතිවරිය විසින් උපදෙස් ලබාදී ඇත.
තත්වය හේතුවෙන් රැදවියන්ගේ ඥාතීන්ට ඔවුන් හමුවීමට ඔවුන්ගේ අවශ්‍යතා බැලීමට අවකාශ නොමැති බැවින් ඔවුන් පිළීබදව විශේෂ අවධානයක් යොමුකරන ලෙස මෙහිදී උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *