මධුෂ් ලවා ගෙන්වාගත් පාතාලයන් වෙඩිතබා පැනගියා – දේශබන්දු

(කොළඹ, ලංකාපුවත්) –පාතාල නායක මාකඳුරේ මධුෂ් අද (19) අළුයම මියගිය ආකාරය පිළිබඳව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට මඳ වේලාවකට පෙර පෞද්ගලික රූ‍පවාහිනී නාලිකාවක් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැහැදිලි කිරීමක් කළේය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ වසර එකහමාරක් පමණ හිටපු මාකඳුරේ මධුෂ් කියන ඒ නමගිය ප්‍රධාන පෙලේ අපරාධකරුවා, ඒවගේම මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා දැඩි ලෙස ක්‍රියා කරපු ඉතාම ප්‍රබල ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වැඩිදුර ප්‍රතිඵලදායක ලෙස විමර්ශන කටයුතු කිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියෝග පරිදි කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදුන්නා.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට පසුදිනම හෙරොයින් කිලෝග්‍රෑම් 11ක ප්‍රමාණයක් ප්‍රදේශයකින් සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් සමත් වුණා. ඒ අනුව මොහුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධව මොහුගෙන් අනාවරණය වෙච්චි කරුණු අනුව ඔහුගෙන්ම තොරතුරු එකතු කරගෙන ඉතාම සාර්ථක විමර්ශන කිහිපයක් කරගෙන ගියා.

ඒ අනුව ඔහුව යොදාගෙන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ තවත් ඔහු හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කැඳවලා ඔවුන්ගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට අවස්ථාව ලබාගැනීමට. ඒ අනුව ඔවුන් සාකච්ඡා කරගත් පරිදි පොලිස් නිලධාරීන් සහ මාකඳුරේ මධුෂ් එම අපරාධකරුවන් හමුවීමට මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට ගිය අවස්ථාවේදී මොහු විසින් ලබාදීලා තියෙන ඒ … ඒ … ඒ …. යම් යම්කිසි ඉඟියක් අනුව මොහුව එම පැමිණි අපරාධකරුවන් යතුරු පැදියකින් පොලිස් නිලධාරීන්ට ඉලක්ක කරලා වෙඩි තැබීමක් කරලා තියෙනවා.

එම වෙඩි තැබීමේදී කලවා ප්‍රදේශයට වෙඩි තැබීමකින් තුවාල වෙච්ච එක් පොලිස් කොස්තාපල්වරයෙක්ව ජාතික රෝහලේ රෝහල්ගත කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී සිද්ධිය වුණු ස්ථානයේ සිටි අනෙක් සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර සහ ඒවගේම අත් බෝම්බ ප්‍රහාරයකුත් එල්ල කරලා තියෙනවා. මේ අවස්ථාවෙදි ජීවිත ආරක්ෂාව තකා පොලිස් නිලධාරීන් තබපු වෙඩි ප්‍රහාරවලින් මාකඳුරේ මධුෂ් මියගිහින් තියෙනවා.

ඒත් එක්කම එම ස්ථානයේ සිටි මීට කලින් මත්ද්‍රව්‍ය සහ මිනීමැරුම්වලට ඉතාමත්ම ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් තමා කංජිපානි ඉම්‍රාන්. ඔහුගේ මත්ද්‍රව්‍ය තිප්පොලක් කිට්ටුව තමා මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. මෙම ස්ථානයේ තිබිලා හෙරොයින් කිලෝ 22ක්, ඒ කියන්නෙ කෝටි 22ක් වටිනා හෙරොයින් අත් අඩංගුවට අරන් තියෙනවා. ඒවගේම මේ ස්ථානයේදී අපරාධකරුවන් භාවිතා කරපු බ්‍රවුනින් වර්ගයේ අලුත්ම පිස්තෝල දෙකක් පොලිසිය සොයාගෙන තියෙනවා. ඒවගේම අපරාධකරුවන් පැමිණියායැයි කියන යතුරුපැදියක් ඒ අවස්ථාවෙ ධාවනය කරගෙන ගිහින් අනතුරකට ලක්වෙලා මඟදමා ඔවුන් පළාගිහිල්ලා තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *