කොවිඩ්-19; ළඟම ආශ්‍රිතයන් අද සිට නව ක්‍රමවේදයකට

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ්-19 රෝගය වැළඳෙන පුද්ගලයන්ගේ ළඟම ආශ්‍රිතයන් අද සිට නව ක්‍රමවේදයකට අනුව නිවසේම නිරෝධායනය කිරීමට තීරණය කර ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රියාමාර්ගය අනුගමනය කරන බවයි.

මිනුවන්ගොඩ හා පෑලියගොඩ ආශ්‍රිතව වර්ධනය වූ කොවිඩ් පොකුරු කඩිනමින් හඳුනා ගත්ත ද වෛරසයේ ප්‍රබලතාව මත අලුතින් එක්වන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසා නව ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.

ඒ අනුව කොළඹ මට්ටක්කුලිය හා සමිට්පුර ප්‍ර දේශවල පළමුවරට මෙම නව ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක වේ. නිවාස 34ක 165 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාව පවසයි.

යුද හමුදාව හා පොලිසිය එක්ව එම නිවාස ආශ්‍රිත ආරක්‍ෂාව ලබාදීමට ද පියවර ගෙන තිබේ. මීට පෙර ආසාදිතයෙකු වාර්තා වූ වහාම ඔහුට සම්බන්ධ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන් අතරේ රෝගය පැතිරයාම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවාව හා සෞඛ්‍ය බලධාරීන්ගේ මූලිකත්වයෙන් ආක්‍රමණශීලි ලෙස පියවර ගැණින. මාර්තු මාසයේ සිට ඇතිවූ පොකුරු සියල්ලම පාලනය කෙරුණේ ඒ අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *