කොවිඩ් හමුවේ වරාය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) –Covid 19 වසංගත රෝග තත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය ලෙස සැළකෙන කොළඹ වරාය කේන්ද්‍ර කරගත් මෙරට සමස්‍ථ වරාය පද්ධතියේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීමකින් තොරව අඛණ්ඩව හා සුරක්ෂිතව ඉදිරියට පවත්වාගෙන යාම සදහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග රැස්වීමක් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුනි.

ඒ අනුව මේ වන විටත් ගෙන ඇති පියවර තවදුරටත් වඩාත් හොදින් ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහෙයුම් සැලසුම් සමාලෝචනය හා විශ්ලේෂණය කරලීම පිනිස විශේෂ සම්බන්ධීකරණ රැස්වීමක් ලෙස එය පැවැතුවුනි.

ශ්‍රි ලංකා වරාය අධිකාරිය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා නැව් සංස්ථාව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා නාවික හමුදාව යන සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් එය පැවතිනි.

ඒ අනුව වරායේ සෑම අංශයකම සේවකයින්ට වසංවත අවධානම ඇති වීම වැලැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ගයන් හා යම් හෙයෙකින් යම් සේවකයෙකු ආසාදනයකට ලක් වීමක් බාහිරින් සිදු වුවහොත් ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ගයන් මගින් වරායේ වැඩකටයුතු බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාම සදහා යෝජිත උපස්ථ සැලසුම් පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු විය.

ඉදිරියේදීත් තවදුරටත් මෙම වසංගත උවදුර සමස්ථයක් ලෙස පහව යන තෙක් සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වීමට මෙහිදී සාකච්ඡා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *