ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව සාර්ථකත්වයට පත් වීම අපේක්ෂාවයි

(කොළඹ, ලංකාපුවත්) –සාමකාමී, ස්වෛරී හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව සාර්ථකත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයක් අපේක්ෂා කරන අතරම තම රටේ අපේක්ෂාව චීනයේ අපේක්ෂාවන් නොවන බව පෙන්වාදෙන ඒ මහතා ශ්‍රී ලංකාව සමඟ සහයෝඟයෙන් කටයුතු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවද සංවර්ධනය වෙනුවෙන් සහාය ලබාදෙන බවද කියාසිටී.

ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිවලට ගරුකරමින් කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව විවිධ අභියෝගයන් සාර්ථක ලෙස ජයගනිමින් කලාපීය වශයෙන් ඉදිරියට ගමන් කරන අතර ස්වෛරීත්වය, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස භුක්ති විඳිමින් දියුණුවේ මාවතට පිවිසෙනවා දැකීම ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු හා හවුල්කාරයෙකු වශයෙන් ඇමෙරිකාවේ අපේක්ෂාව බවද හෙතෙම සදහන් කරයි. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මේ බව සදහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (28) පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. ඉන්දියානු සංචාරය නිමවා පෙරේදා (27) රාත්‍රි 7.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණි රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබූහ.

ඒ අනුව මෙරටට පැමිණි මයික් පොම්පියෝ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශය වෙත පැමිණියේය. එහිදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එයින් අනතුරුව මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවට සහභාගි විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේ ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාර්ථක සාකච්ඡාවකට සහභාගි වීමට අවස්ථාව ලැබුණු බවත් තම ශ්‍රී ලංකාව සංචාරය දෙරටේ ඉදිරි වැඩසටහන් වෙනුවෙන් වැදගත් වනු ඇති බවත්ය. තම තානාපති කාර්යාලය විසින් මෙරටට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන ගිවිසුමක් සකස් කරමින් පවතින අතර එය අවසන් අදියරේ තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා යහපත් රාජ්‍ය පාලනයත්, විනිවිද භාවයත්, ප්‍රතිපත්ති ස්ථාවරත්වයත් මත මීටත් වඩා ඇමෙරිකානු ආයෝජන ළඟාකර ගත හැකි බවද පෙන්වා දුන්නේය.

ලෝකයේ වඩා වැදගත් මුහුදු මාර්ග විවෘතව තැබීමේ වැදැගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විදේශ ඇමැතිවරයා ඊට එකඟ වූ බවද ඊට අමතරව දෙරට අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ප්‍රකාශ කළේය. කොරෝනා වසංගත සමයේ දී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල නිෂ්පාදිත ආරක්ෂිත ඇඳුම් කට්ටල තම රටට සපයා තිබෙන බව කී මයික් පොම්පියෝ මහතා මෙම වසංගත තත්ත්වය හමුවේ ආධාර වශයෙන් ඩොලර් මිලියන 6ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට හැකියාව ලැබුණු බවද කීවේය. අමෙරිකාව ශ්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන අතර ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන රටක් ලෙස අපිට තිබෙන්නේ එක හා සමාන දැක්මක් බවද ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටවල් දෙකක් බවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසීය. මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පනවා ඇති සංචාර තහනම යලි ඇගයීමකට ලක්කරන බවයි.

මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව මයික් පොම්පියෝ මහතා ඇතුළු ඇමෙරිකානු දූත පිරිස කොච්චිකඩේ දේවස්ථානයේ නිරික්ෂණයකට එක්වූ අතර එයින් අනතුරුව ඊයේ (28) පස්වරුවේ සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කර මාලදිවයින බලා පිටත්ව ගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *