ශ්‍රී ලාංකේය සාමාජීය ප්‍රගමනයට කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් සිදුවූ දායකත්වය

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක වන සුවිශාලම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස හැදින්වේ. එම ව්‍යාපෘතිය රටේ සංවර්ධනය උදෙසා තම දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඒ හා සම්බන්ධ සියලූ පාර්ශ්ව ඉන් පිටතද? ඇතුළතද? යන්න නොසොයා, තම සමාජීය මෙහෙවර ඉටු කරන්නේ එතෙක් මෙතෙක් රට තුල වූ සංවර්ධන ක්‍රියාදාමයන් හි සිදුනොවූ එක් පැතිකඩක් සමාජ ගත කරමිනි. අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් නැතහොත් රුපියල් බිලියන 260 ක මූලික ආයෝජන කාර්යයකින් ක්‍රියාත්මක වන මෙම කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් සමාජයට අත්ව ඇති ප්‍රතිලාභ සුවිශේෂවේ.

ව්‍යාපෘතිය පටන් ගත් අවස්ථාවේ රජය සමග ඇති කරගත් ගිවිසුම අනුව, වැලි ලබාගැනීම සිදුකල කාල සීමාව තුල, මීගමු වෙරළ තීරයේ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ සුබසාධන පහසුකම් දියුණුකිරීමට ධීවර ජනතා ජීවනෝපාය සහයෝගිතා සමිතිය පිහිටුවා ගැණින. ධීවර අමාත්‍යංශය, දෙපාර්තමේන්තුව හා මහ නගර අමාත්‍යංශය එදා එම සමිතියේ වැඩ කටයුතු අධීක්ෂණයෙන් එක්විය. ඒ අනුව එයින් සෙත සැලසුන පවුල් සංඛ්‍යාව 4000 වඩා වැඩිය. එම පවුල්වල 16000 ක පමණ ජනතාවක් ඒ වටා එක්ව සිටියහ. ඒ අනුව පසුගිය 2016 වසරේ, වසර 3ක කාලයකදී රුපියල් මිලියන 500 ක් හෙවත් කෝටි 50 ක, අරමුදල් ඉලක්කයක් සහිතව පෝට් සිටි ව්‍යාපෘති සමාගම විසින් මෙම සමිතිය වෙත අදියර වශයෙන් මුදල් ප්‍රදානය කර තිබුණි. වැලි ලබා ගැනීම සඳහා වසර 3 ක සීමාවක් ගත වෙතැයි අපේක්ෂා කර තිබූ අතර, මෙම සුභ සාධන වැඩසටහන ද, එකී කාල සීමාව සඳහා සැලසුම්කර තිබිණ. නමුත් වැලි ලබා ගැනීම වසර දෙකහමාරකින් නිමවුවද, පෝට් සිටි සමාගම සිය මූලික ප්‍රතිඥාව අනුව යමින් වැලි ලබා ගැනීම අවසන්වූ පසුවත් පෙර සැලසුම් කළ පරිදි වසර 3 ක කාලය දක්වාම සිය ධීවර සුබ සාධන කටයුතු ඉටුකරන ලදී. මෙම සුබසාධන කටයුතු කෙතරම් ධීවර ප්‍රජාව තුල ප්‍රසාදයට ලක්වුනේද යත්, ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සංවේදී වෙමින් අමතර ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 148 ක් වැයකරමින් හා තවත් අමතර වසරක කාලයක් තිස්සේ වත්තල සිට මීගමුව දක්වා මෙම සුබසාධන වැඩසටහන මෙහෙයවීමට පෝට් සිටි සමාගම ගනු ලැබූ තීරණය එහි අව්‍යාජ සමාජීය මෙහවර තහවුරු කරන්නකි.

මීගමුව, වත්තල, උස්වැටකෙයියාව, පිටිපන ප්‍රදේශ වල ධීවර ජනතාවගේ ඉල්ලීම් පරිදි පෝට් සිටි සමාගම ඉටු කළ මූලික ධීවර සුබසාධන ව්‍යාපෘති ජනතා ආකර්ෂණය දිනාගැනීමට සමත්විය. වසර ගණනාවක් තිස්සේ අරමුදල් නොමැතිවීම හේතුවෙන් අකර්මන්‍යව පැවති ග්‍රාමීය ධීවර සමිති සඳහා රුපියල් ලක්‍ෂ 20 බැගින් සමිති 81 ක් සඳහා රුපියල් කෝටි 16කට වැඩි මුදලක් ලබා දීම ඉන් ප්‍රමුඛ කාර්යයකි. එසේ ලද මුදලින් යළි පිබිදි ආ, එම ධීවර සමිති සිය සාමාජිකයින් සඳහා සුළු ණය ලබාදීම්, ආම්පන්ණ මිල දී ගැනීම් හා අනෙකුත් අවශ්‍යතා සඳහා සමිති කාරක සභා අනුමැතියෙන් මුදල් වැයකිරීම් සිදුකරන අතර, සිය අරමුදල් වැඩිකර ගැනීමටත් කටයුතු කර ඇත. වර්තමානය වනවිට සමස්ත ශ්‍රී ලංකාවෙන් වැඩිම අරමුදල සහ සක්‍රීයම ධීවර සමිති බවට පත්වීමට මීගමුව ධීවර කළාපයේ ග්‍රාමීය ධීවර සමිති වලට හැකිවූයේ පෝට් සිටි ව්‍යාපෘතිය නිසා බව එම ප්‍රදේශ වල ධීවරයෝ ඉතා කෘතවේදීව සිහිපත් කරති. අක්‍රීයව තිබුණු දිවි සයුර රක්ෂණය සක්‍රීය කරමින් 16156කට, වසර තුනක් දක්වා රක්‍ෂණ වාරික ගෙවීම, එමඟින් ලක්‍ෂ 10 බැගින් 6 දෙනෙකු සඳහාත් ලක්‍ෂ 2 බැගින් 16 දෙනෙකු සඳහාත් වන්දි ගෙවීම් ලබා ගැනීමට කටයුතු කිරීම මෙන්ම ධීවර සමිති සඳහා ලබාදුන් මුදල ක්‍රමවත් ලෙස පරිහරණය කල යුතු ආකාරය පිළිබඳව ඔවුන් හට පුහුණුවක් ලබා දීමද සිදු කෙරුණි.

ධීවර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමේ අරමුණින් වත්තල සිට කොච්චිකඬේ ප්‍රදේශය අවරණය වන පරිදි සෞඛ්‍ය සායන හා ඇස් කණ්නාඩි බෙදා දීම් නොමිළේ සංවිධානය කිරීම, ශාන්ත ආනා සහ ශාන්ත අන්තෝනි වැනි තොටුපල පිළිසකර කිරීම, පළඟතුර ශාන්ත ජෝන් තොටුපලේ ලෙල්ලම පිළිසකර කිරීම, ග්‍රාමීය ධීවර සංවිධාන මූලස්ථාන කාර්යාලය ප්‍රතිසංස්කරණය, කම්මල්තුරය ඉඳිවර ධීවර සමිතියේ භූමිතෙල් ගබඩාව ඉදිකිරීම, නැවත ගොඩබිම වෙත එන ධීවර ජනතාවගේ ආරක්‍ෂාව හා මඟ සලකුණු වෙනුවෙන් තොටුපළ ආශ්‍රිතව අධි බලැති විදුලිපහන් සවිකිරීම සහ කළපු ධීවරයන් වෙනුවෙන් අව් ආවරණ ඉදිකිරීම, ශාන්ත මරියා දේවස්ථානයට අයත් ජුබිලි ශාලාව නවීකරණය කිරීම ආදී, ධීවර මෙන්ම ඒ ආශ්‍රිත ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් රැසක් සැලසීම පෝට් සිටි සමාජීය මෙහවරේ සඳහන් කළ යුතුම ව්‍යාපෘති අතර කිහිපයකි.

මීට අමතරව ධීවර පවුල්වල සුභසිද්ධිය වෙනුවෙන් පවුලේ මරණයක් වෙනුවෙන් රු.25,000 ක මරණාධාර මුදලක් ලබාදීම, පාසල් අධ්‍යාපනය අවසන් කළ අය සඳහා පාඨමාලාවක් හැදෑරීමට උපරිම වශයෙන් රු. 25,000 ක මුදලක් ලබා දීම, වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණය, කාන්තා පියයුරු පිළිකා (මැමෝග්රූම්) පරීක්‍ෂණ, අක්‍ෂි කාච සහ ඖෂධ ලබා ගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීම, 500 කට අධික පාසල් ළමුන් වෙත පාසල් උපකරණ පිරිනැමීම, කාන්තා ස්වයං රැකියා පුහුණු වැඩසටහන් පැවැත්වීම, විවිධ පරිසර හිතකර සහ සංස්කෘතික උත්සව අවස්ථාවන් සඳහා අනුග්‍රහය දැක්වීම වැනි විශාල කාර්යයන් ප්‍රමාණයක් පසුගිය කාලය තුළ වරාය නගර ව්‍යාපෘතියේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කර තිබීම එතෙක් මෙතෙක් සිදුකරන සුවිශාලම ව්‍යාපෘතියේ සාධාරණත්වය කියා පාන්නකි.
මීට අමතරව පෝට් සිටි සමාජ සත්කාර්ය යටතේ ඉටුකල දැවැන්තම ව්‍යාපෘති දෙකක් වනුයේ රුපියල් මිලියන 300 අධික මුදලක් වැය කරමින් මාදැල් ධීවර ප්‍රජාවගේ ඉල්ලීම අනුව සිදු කළ වෙරළ වැලි ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සහ රුපියල් මිලියන 10 මුදලක් වැයකර මීගමු කළපුවට සම්බන්ධ වන ඉතා බරපතළ ලෙස අපවිත්‍ර සහ ගොඩවී, පරිසර ප්‍රශ්නයක්ව තිබූ ඇල මාර්ග 5ක් පවිත්‍රකොට යළි ධීවර බෝට්ටු යාත්‍රා කළ හැකි පරිදි පිළිසකර කිරීම දැක්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *