ඇඳිරි නීතිය ඉවත් කළත් නිරෝධායන ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද දැඩිව නිරීක්ෂණය කරන ලෙස කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ දෛනික හමුවට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05) එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බව හඳුනා ගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කරන ලද අතර රට පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න පිරිසක් එසේ නිරෝධායනය වෙමින් සිටිති. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති. නිරෝධායනය වෙමින් සිටින පිරිස ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ආසාදිතයන් සමාජයෙන් හමු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු අතර අවශ්‍ය වුවහොත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් සීමා කිරීමට තීරණය කෙරිණ.සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහ පී. සී. ආර් පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළෙඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එළවළු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවේ. කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − five =