බන්ධනාගාර තුළ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවාය.

මතුව ඇති තත්වය පිළිබදවත් ඒ සදහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදවත් අවධාරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) අමාත්‍යාංශයේ පැවැති අවස්ථාවේ එම උපදෙස් ලබාදුන්නේය.

පෙර ලබාදී තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ උපදෙස් අනුව සිදුකල අහඹු PCR පරික්ෂණ මගින් වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු හමුවූ අතර ඔවුන් වැළිකන්ද රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත. කාන්තා රැදවියන් හතර දෙනෙකු, පිරිමි රැදවියන් දෙදෙනෙකු සහ එක් නිලධාරියෙකු එලෙස හදුනාගෙන ඇත.
කොවිඩ් ආසාදිතයින් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන පිරිස් වර්ගීකරණයකට ලක්කොට ඔවුන් වෙනම ස්ථානගත කිරීමට සැලසුමක් බන්ධනාගාර පද්ධතිය තුල සකස්කොට ඇත.

කොවිඩ් ආසාදිත එහෙත් රෝගී ලක්ෂණ පෙන්නුම් නොකෙරෙන අයවලුන් එක් කොටසකටත්, රෝගී ලක්ෂණ පෙන්නුම් කෙරෙන ආසාධිතයින් තවත් කොටසකටත්, PCR පරීක්ෂණ නොකල එහෙත් උණ කැස්ස සෙම රෝගී තත්වයන් පෙන්නුම් කෙරෙන රැදවියන් තවත් කොටසකටත් වෙන්කර තැබීමට කටයුතු සකස්කර ඇත. එවැනි අයවලුන් කඩිනම් PCR පරික්ෂණ සදහා යොමු කිරීමට සැලසුම්කොට ඇත. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් රාජකාරි සදහා යොමුකිරීමද වර්ගීකරණයකට අනුව සිදුවේ. බාහිර රාජකාරි සදහා යොදවන නිලධාරීන් වෙනම කණ්ඩායමක් ලෙසත් අභ්‍යන්තර රාජකාරී සදහා යොදවන නිලධාරීන් තවත් කණ්ඩායමක් ලෙසත් වෙන්කර ඇත.

මෙම සැලසුමේ අරමුණ රැදවියන් මෙන්ම නිලධාරීන්ද කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාකර ගැනීමයි.

ඇමතිනිය මෙහිදී වැඩිදුරටත් සදහන්කර සිටියේ කොවිඩ් 19 වෙනුවෙන් සූදානම් කර තිබූ වැලිකඩ, අගුනකොලපෑලැස්ස සහ පල්ලන්සේන බන්ධනාගාර රෝහල්වල පවතින අඩුපාඩු ඉක්මණින් සපුරා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග නැවත විමසීමකට ලක්කල යුතු බවයි.

පවතින තත්වය සදහා අවශ්‍ය රෝහල් කාර්ය මණ්ඩල සහ උපකරණ පිළිබදව ‍සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් ලබාගැනීමට කටයුතු කිරීමත් අගුණකොලපැලැස්ස සහ පල්ලන්සේන බන්ධනාගාරවලට සමීපව පවතින හම්බන්තොට සහ මීගමුව රෝහල්වල මෙන්ම සෙසු බන්ධනාගාර පවතින ප්‍රදේශවල

රෝහල්වල සේවය ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබාගත යුතු බවයි. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කඩිනමින් සාකච්ඡාවක් සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *