බස්නාහිර පළාත සඳුදා විවෘත කළ හැකියි – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාත ලබන සඳුදා (09) වන විට විවෘත කළ හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශ්වාසය පළ කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිදු කළ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක මට්ටමක පවතින බව කියා සිටි යුද හමුදාපතිවරයා බොහෝ දුරට බස්නාහිර පළාත විවෘත කළ හැකි වන බවත් පෙන්වා දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරි නීතිය යොදවා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ වෛරසය පැතිරීම වළක්වා ලීමට බව කියා සිටි ඒ මහතා එහි අරමුණ වූයේ හැකි ඉක්මනින් රට විවෘත කිරීම බව පෙන්වා දුන්නේය. කොවිඩ් වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගත් බවද ඔහු කීවේය.

මේ වනවිට ගත් ක්‍රියාමාර්ගවලට අනුව බස්නාහිර පළාත විවෘත කිරීමට හැකි වනු ඇති බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරියටත් නිරෝධායන නීතිය ඉදිරියට රැගෙන යාමට කිසිසේත් බලාපොරොත්තුවක් නැති බවත් කියා සිටියේය.

එමෙන්ම මෙවර පැතිරෙන කොවිඩ් වෛරසය විශාල භයානක වෛරසයක් බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ශරීරයට ඇතුළු විය හැකි බවත් පෙන්වා දුන් ඒ මහතා බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්කිරීමට නම් ඊට අදාළ කටයුතු සඳහා ජනතාව සහයෝගය දැක්විය යුතු බවත් අවධාරණය කළේය.

බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා මීට පෙර දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *