COVID-19 ව්‍යසනය හමුවේත් සිවිල් ගුවන්සේවා නියාමන කටයුතු අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – ගුවන්සේවා ක්ෂේත්‍රයේ යහ පැවැත්ම රදාපවතිනුයේ එහි ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය (Security & Safety) මත ය. එම නිසා එම අංශ දෙක නිරතුරු නියාමනයට ලක්කිරීම අත්‍යවශය කරුණක් වන අතර එහි වගකීම භාරව ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙතයි.

වත්මන් COVID-19 ව්‍යසන අභියෝගය හමුවේ වුවද සිවිල් ගුවන්සේවා ආරක්ෂාව සහ සුරක්ෂිතතාව නිසි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමේ ජාතික මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ, සියළු අංශයන්හි ගුවන්සේවා පරික්ෂකවරුන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනු ලබයි.

මෙම කටයුතු සඳහා ගුවන්තොටුපල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාදෙන්නේ නොමද සහයෝගයකි.

මේ සඳහා නිසි මාර්ගෝපදේශණය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මාදාස, අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන් ලබාදෙන අතර සෞඛ්‍ය උපදෙස් වෛද්‍ය බිමල් ඩයස් මහතා විසින් ලබාදෙයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් ආරක්ෂක රෙගුලාසි) පී. ඒ. ජයකාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ අජිත් ජයසේකර, අජිත් දේවරාජා සහ ඉසුරු වෙන්ඩකෝන් යන ජේෂ්ඨ ගුවන්සේවා පරික්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් ගුවන්තොටුපලේ සවිකර ඇති X-Ray යන්ත්‍ර පිළිබඳ තත්ව පරික්ෂණයක් පසුගිය දා සිදුකරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *