ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ග්‍රාමීය ආර්ථිකයට ශක්තියක්

(කොළඹ, ලංකාපුවත්) –ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ග්‍රාමීය ආර්ථිකය ගොඩ නැංවීමට කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (10) මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ප්‍රකාශ කර සිටියේ ,

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාවට නංවා තිබෙන බවය. ඒ සඳහා කමිටු හතරක් පිහිටුවා ගමේ සංවර්ධනය වේගවත් කරමින්, ගමේ ජනතාවගේ ආර්ථිකය නංවාලීමට කටයුතු යොදා ඇත

ගමේ ගැටළු ගමටම ගොස් හදුනාගැනීම තුළින් එලදායි සංවර්ධනයක් රට තුළ ක්‍රියාත්මක කළ හැකියි. පසුගිය වසර පහේ මේ රටේ සංවර්ධනය නතර වෙලා තිබුනා. අපේ රජය යළි සංවර්ධන කටයුතු ආරම්භ කරලා ඉදිරියට යමින් තිබෙනවා. ලෝකෙට වගේම අපිටත් කොවිඩ් 19 බලපෑම් එල්ල වෙලා තිබෙනවා. මේ නිසා අපිට සංවර්ධනය අතර මග නතර කරන්න බැහැ. අපි ජනතාව ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සංවර්ධනය ඉදිරියට ගෙනියන්න ඕනේ.

ගමේ පාර හොදට හදලා, අධිවේගී ටික හදලා මාර්ග පද්ධතිය හොදින් සංවර්ධනය කරලා රටේ ජනතාවට භාර දුන්නාම කෘෂි නිෂ්පාදන, ධීවර නිෂ්පාදන, සත්ව නිෂ්පාදන වගේම සියළුම නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළෙදපොළට අරන් ගිහින් හොද මිලක් ගන්න පුළුවන්. ඒ වගේම ගුවන්තොටුපළට, වරායට ඉක්මනින් ගෙනිහිල්ලා අපනයන ක්‍රියාවලිය කඩිනම් කරන්න පුළුවන් වෙනවා. එමගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිවට දායක වෙන්න පුළුවන්. ඒ සදහා යටිතල පහසුකම් හොදින් සංවර්ධනය කරන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමා වගේම අගමැතිතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න කටයුතු කරලා තියෙනවා.

මේ ආණ්ඩුව පරිසර හිතකාමි ආණ්ඩුවක්. ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙන්නෙ පරිසරය ආරක්ෂා කරගෙන රටේ සංවර්ධනය සිදු කරන්න කියලා. අපි මාර්ග ඉදිකිරීමේදි පැල මිලියන දෙකක් සිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙන බව ද රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් කීවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 2 =