සාම්පල්තිව් කලපුව ගොඩ කරන්නන් වහා අත්අඩංගුවට ගන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) –නීති විරෝධි ලෙස සාම්පල්තිව් කලපුව ගොඩ කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කීවාය.

හෙක්ටයාර් 245ක් පුරා විහිදි ඇති අතිශය පරිසර සංවේදි කලාපයක් වන මෙම ප්‍රදේශයේ මීට පෙර ද නීතිවිරෝධි අයුරින් විවිධ පුද්ගලයින් විසින් නිති විරෝධි අයුරින් කලපුව ගොඩ කර ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කර තිබු අතර වහාම එම කටයුතු නතර කරන ලෙස ආණ්ඩුකාරවරිය නියෝග කර තිබුණාය.

අනතුරුව මේ පිළිබදව වහාම තමන් වෙත වාර්තාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ත්‍රිකුණාමලය හිටපු දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කොට තිබුණි. එම වාර්තාවට අනුව කලපුව ගොඩකිරීම සදහා විවිධ රාජ්‍ය අයතන විසින් අවසර ලබා දී තිබුණි. එහිදී ආණ්ඩුකාරවරිය පවසා සිටියේ බැලු බැල්මට පරිසර සංවේදි කලාපයක් වන සාම්පල්තිව් කලපුවේ ගොඩනැගිලි ඉදි කිරීම සදහා අවසර ලබා දීම පුදුමයට කරුණක් බවයි.

කෙසේවෙතත් යළි මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන තුරු සියළු ඉදි කිරීම් නතර කරන ලෙස ආණ්ඩුකාරවරිය මීට පෙර සිටි එම දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කර තිබුණි.

අද (17) පෙරවරුවේ කප්පල්තුරේ පැවති කඩොලාන සිටුවීමේ ව්‍යාපෘතියකින් අනතුරුව මාධ්‍යවේදින් ආණ්ඩකාරවරියගෙන් විමසා සිටියේ යළිත් වරක් සාම්පල්තිව් කලපුවේ විවිධ පුද්ගලයන් ඉදිකිරීම් සිදු කරන බවයි. ඒ අවස්ථාවේ ආණ්ඩුකාරවරිය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් මේ පිළිබදව විමසු අතර ඔහු කියා සිටියේ අවසර තිබෙන පුද්ගලයන්ට එහි ඉදිකිරීම් සිදු කරගෙන යන ලෙස දැනුම්දි ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ඉදි කිරීම් නතර කරන ලෙසත් ඊට අදාළ සියළු පාර්ශව කැදවා ලබන බ්‍රහස්පතින්දා(19) පෙරවරුවේ විශේෂ රැස්වීමක් සූදානම් කරන ලෙසත් ආණ්ඩුකාරවරිය ඒ අවස්ථාවේදීම නව දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාට නියෝග කළාය.

ඒ සදහා නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ධීවර සංස්ථාව සහ වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිළධාරින් සහභාගි කරවන ලෙසද ආණ්ඩුකාරවරිය නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 7 =