Stay Safe ඩිජිටල් ව්‍යාපෘතිය සෑම රාජ්‍ය ආයතනයකම ක්‍රියාත්මක කිරීමට චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) –රටේ පුරවැසියන්ගේ සංචරණයන් කළමනාකරණය කිරීම අරමුණු කරගෙන වෙබ් තාක්ෂණය මත පදනම් වූ ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් විසඳුම තම ආයතන පරිශ්‍රවල භාවිත කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමක් කර ඇත.

ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ සෑම රාජ්‍ය ආයතනයක්ම https://staysafe.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වී ආයතනයට අදාළ QR කේතය සහිත පෝස්ටරය බාගත කරගත යුතු බවයි.

එලෙස බාගත කරගනු ලබන පෝස්ටරය මුද්‍රණය කර ආයතනයට ඇතුළු වන සියලු ස්ථානවල පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කළ යුතු වේ.

ආයතනයෙන් පිටවීම සඳහා වෙනත් දොරටු පවතී නම් එම සියලු ස්ථානවලද ආයතනයට අදාළ QR කේතය සහිත පෝස්ටරයේ පිටපතක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළ යුතු වේ.

ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන රාජ්‍ය ආයතනවල සියලු සේවකයින් සහ ආගන්තුකයින් ආයතන පරිශ්‍රයට පිවිසීමේදී QR කේතය ස්කෑන් කර ඒ බව තහවුරු කිරීමෙන් පසුව ආයතනයට ඇතුළුවිය යුතු බවයි.

ස්මාර්ට් ජංගම දුරකතන භාවිත නොකරන සේවකයින් සහ ආගන්තුකයින් හට ඒ සඳහා කෙටි පණිවුඩ ක්‍රමය භාවිත කළ හැකි බවද පෙන්වා දී තිඛේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *