INSEE සමාගම අරුවක්කාරු වනාන්තර භූමියේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර අමාත්‍ය මහින්ද අමරවීරගේ නිරීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) –මතභේදයට ලක්වූ අරුවක්කාරු වනාන්තර විනාශය හා අනවසර පදිංචි වීම් හා බැඳුණු නවතම තත්ත්වය සොයාබැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීය.

එහිදී අදාළ භූමිය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා නැවත වන වගාකිරීම් ඇතුළු INSEE සිමෙන්ති සමාගමේ මැදිහත්වීමෙන් ගෙන ඇති පියවර අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ 100%ක් දේශීය සිමෙන්ති නිෂ්පාදනය කරන එකම ආයතනය වන INSEE සිමෙන්ති සමාගම, දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාගෙන ඇති අරුවක්කාරු කැණීම් භූමියේ වනාන්තර කොටසක් සැප්තැම්බර් මස මුලදී යම් පිරිසක් විසින් විනාශ කර දමා තිබුණේ විශාල පරිසර හානියක් සිදුකරමිනි. ඊට වහාම ප්‍රතිචාර දක්වමින් බලපෑමට ලක්වූ වනාන්තර ප්‍රදේශය නැවත යථා තත්ත්වයට පත්කිරීමටත්, යළි මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීමටත් සමාගම පියවර ගෙන තිබුණි. ඉන් පරිසරය ආරක්ෂා කරගැනීමට සමාගමේ කැපවීම මෙන්ම සියලු පාර්ශ්වකරුවන් සමඟ විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමේ ලක්ෂණය ද මනාව පිළිබිඹු වේ.

මේ අනුව අක්කර 15ක් පමණ වූ අදාළ භූමියේ මේ වනවිටත් ශාක පැළ 8,000ක් පමණ රෝපණය කිරීමට සමාගම කටයුතු කර තිබේ. එහි සම්පූර්ණ වශයෙන් පැළ 19,000ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ පැළ සියල්ල මේ වනවිටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන තිබේ.

ඊට අමතරව, අරුවක්කාරු කැණීම් භූමිය මිනුම්ගත කර එහි සීමා නිශ්චිතව ලකුණු කිරීමටත් කටයුතු සිදුවෙමින් පවතී. තව ද ආරක්ෂක අංශ නිලධාරීන් යතුරු පැදි මුර සංචාර සඳහා යොමුකිරීමටත් පියවර ගෙන ඇත. අනවසරයෙන් කැණීම් භූමියට ඇතුළු වන්නන් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමටත් සමාගම කටයුතු සලසා තිබේ. භූමියට අනවසරයෙන් ඇතුළුවන්නන්ට අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු ද පිහිටුවා ඇත.

ඊට අමතරව වනාන්තර ආරක්ෂා කිරීමේ වැදගත්කම හා තමන් ගෙන යන නැවත වන වගා ව්‍යාපෘතිය පිළිබඳව අවට ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකට ද සමාගම ආරම්භ කර තිබේ. නැවත වන වගා කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 100ක පමණ ස්වේච්ඡා භට පිරිසක් ද සම්බන්ධ වී සිටියි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා ද මෙම වන වගා ව්‍යාපෘතිය සඳහා අධීක්ෂණ සහාය පිරිනමයි.

සියලු පාර්ශ්වකරුවන් හා එක්ව අදාළ භූමිය පෝෂණය කර යථා තත්ත්වය පත්කිරීමටත්, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ජෛව පද්ධතිය උපරිමයෙන් ආරක්ෂා කිරීමටත් INSEE සමාගම කැප වී සිටින බව සමාගම නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *