කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ 05වන අදියර ආරම්භ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකික වරාය හා නාවික ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් අද (01) පෙරවරුවේ ජයබහලු පර්යන්තයේ V වන අදියරේ (JCT-V) ඉදිකිරීම ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ගුදම් පහසුකම් බහලුම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්න්තයේ 04 වන අදියර අසලදී පැවති මෙම උළෙල සර්වාගමික කටයුතු වලට මුල්තැන දී සිදුකෙරිණි.

1983 වර්ෂයේ මාර්තු මස දී ජයබහළු පර්යන්තයන් සංවර්ධනය ආරම්භ කෙරිණි. ඒ අනුව, JCT පළමු අදියර 1985 දීත්, JCT දෙවන අදියර 1987 දීත්, තුන්වන අදියර 1995 දීත් හතරවන අදියර 1996 දීත් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවේ සිය අදහස් ප්‍රකාශ කරමින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළේ වර්ෂ 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ වරාය හා නාවික ක්‍ෂේත්‍රයේ පැවති ස්වර්ණමය යුගය නැවත අදින් ආරම්භ වන බවයි.

ගුදම් පහසුකම් බහලුම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් ප්‍රකාශ කරමින් දක්වා සිටියේ “හම්බන්තොට වරාය විකිණීම නිසා ආරම්භ වූ අහිමිවීමේ යුගය අවසන් කොට නැවත වරායේ සංවර්ධන යුගයක් ආරම්භව ඇති බවයි.

මෙම අවස්ථාවේ සිය අදහස් ප්‍රකාශ කරමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ,
“ජයබහළු පර්යන්තය අදියර 05 පසුගිය රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් බවයි. විවේචනය වෙනුවට විෂයභාර අමාත්‍යවරයා ලෙස වැඩ කිරීම තම වගකීම බව ද ඔහු ප්‍රකාශ කළේ ය. පළමුව පර්යන්තය ඉදිකිරීම කළ යුතුව තිබුන ද, පසුගිය රජය ග්‍රැන්ටි දොඹකර ආනයනයට මුල්තැන දී පර්යන්තය ඉදිකිරීම නවතා දමා තිබුණි. නමුත් මේ වන විට එම ආනයනය කළ දොඹකර පැමිණ තිබීම නිසා මෙම පර්යන්තය ඉදිකිරීම අද ආරම්භ කෙරිණි.

ඉතිහාසය සැළකීමේ දී දකුණු කොළඹ වරාය සඳහා දියකඩනය ඉදිකිරීමේ දී ද, CICT පර්යන්තය ඉදිකිරීමේ දී විරෝධතා එල්ල වූව ද, එම දියකඩනය ඉදිනොවුනානම් අද දවසේ මෙම කිසිදු නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. එමෙන්ම, ECT පර්යන්තය මෙන්ම WCT පර්යන්තය ද ඉදිරියේ දී ඉදිකිරීම හා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම තුළින් කොළඹ වරාය වඩාත් කාර්යක්‍ෂම වරායක් වනු ඇත. ආසියාවේ නාවික කේන්ද්‍රය ලෙස පත්වීමටත් එය හේතු වනු ඇත.

එබැවින්, අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” යථාර්තයක් කරමින් නිසි කලට නිසි තීන්දු ගනිමින්, ආර්ථික මර්මස්ථානයක් ලෙස කොළඹ වරාය දියුණු කිරීම තුළින් විදේශ විනිමය රට තුළට ආකර්ශණය කර ගැනීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාට වගකීමක් පැවරී ඇති බව ද තමා එම දර්ශනයට අනුවකටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

අද දින ආරම්භ වන JCT අදියර 05, 2022 ජූලි වන විට නිම කිරීමට නියමිත ය. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම ඇ.ඩො. මිලියන 32 කි. ව්‍යාපෘතිය සඳහා වන උපදේශනය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොන්ත්‍රාත් හා සැළසුම් ඉංජිනේරු කොට්ඨාශය විසින් ලබා දීමට නියමිත ය. ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන්නේ චයිනා හාබර් ඉංජිනියරින් සමාගම යි(CHEC).

JCT අදියර 05 ඉදිකිරීම නිසා අත්වන ප්‍රතිලාභ රැසකි. ඒ අනුව, දැනට JCT 04 අදියර සඳහා පැමිණෙන දිග මීටර් 366 ක් වන නෞකාවන් සඳහා නැංගුරම් පහසුකම් ලබා දීමේ දී පර්යන්තයේ අද්දර දිග මදිවීම වැලකී යනු ඇත. ඒ අනුව පර්යන්තය ඉදිකිරීම් නිසා එක්වන මීටර් 120 ක අතිරේක දුර ප්‍රමාණය කාර්ක්‍ෂම හා ඵලදායි නෞකා මෙහෙයුමකට හේතුවේ.

එමෙන්ම, වර්ග මීටර් 40,000ක් හෙවත් හෙක්ටයාර් 04 ක් පමණ වන නව අංගන ප්‍රදේශයක් ජයබහළු පර්යන්තයට එක්වනු ඇත.

මෙම අවස්ථාව සඳහා ගුදම් පහසුකම් බහලුම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, ගුදම් පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධම්මික මාතරආරච්චි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ එච්.ඩී.ඒ.එස්. ප්‍රේමචන්ද්‍ර, අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ හා අංශ ප්‍රධානීන් යන මහත්වරු ද, පර්යන්තයේ ඉදිකිරීම් සමාගම වන චයිනා හාබර් ඉංජිනේරින් සමාගමේ නිලධාරීන් ද, SAGT පර්යන්තය,CICT පර්යන්තය හා CASA ආයතනයේ උසස් නිලධාරීන් ද ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *