මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ ගණන 109 දක්වා ඉහළට – බන්ධනාගාරයේ ආරක්ෂාවට 600ක බලඇණියක්

(කොළඹ, ලංකාපුවත්) –මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු නිලධාරීන් 600 ක බල ඇණියක් තවදුරටත් යොදවා තිබෙනවා.

මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවූවන් පිරිසක් සහ තවත් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිරකුටි කඩාගෙන යාමට උත්සාහ කිරීමේ දී එය පාලනය කිරීමට යාමත් සමඟ ගැටුමක් ඇති වුණා. ඉන් රැඳවූවන් 09 දෙනෙකු මිය ගොස් නිලධාරීන් ඇතුලු 107 දෙනෙකු තුවාල ලැබුවා. මෙම ගැටුමත් සමඟ බන්ධනාගාරයේ දේපල රැසකට හානි සිදුවුණා. අභ්‍යන්තර දේපළවලට සිදුවූ දැඩි හානි සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අද දිනයේදී ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් බහුතරයක් තුවාල ලබා ඇත්තේ බන්ධනාගාර පරිශ්‍රය තුළදී එකිනෙකා ගැටීමෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අංශ ගණනාවක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *