ලොව බලවත්ම කාන්තාව 100 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – 2020 වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුව ජාත්‍යන්තර ෆෝර්බ් සඟරාව විසින් එළිදක්වා තිබෙනවා. එහි පළමු ස්ථානය හිමි කරගෙන සිටින්නේ ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ගෙලා මර්කෙල් විසිනුයි. ෆෝර්බ් සඟරාවට අනුව, ඇය අඛණ්ඩව 10 වැනි වරටත් ලොව බලවත්ම කාන්තාව බවට පත්ව තිබේ.

දෙවැනි ස්ථානය යුරෝපා මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ් හිමි කරගෙන ඇති අතර තෙවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ නව ඇමරිකානු උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් ය.

පසුගිය දිනවලදී කොවිඩ් වෛරසය මර්දනය කිරීම සම්බන්ධයෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත් බවට කතාබහට ලක් වූ නවසීලන්තයේ අගමැති ජසින්ඩා අර්ඩෙන් 32 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. දෙවැනි එලිසබෙත් රැජිණට හිමිව තිබෙන්නේ 46 වැනි ස්ථානයයි.

තායිවාන් ජනාධිපති ට්සායි ඉන්ග් වෙන් 37 වැනි ස්ථානයත්, බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා වජේද් 39 වැනි ස්ථානයත් නෝර්වීජියානු අගමැති එර්නා සොල්බර්ග් 52 වැනි ස්ථානයත් හිමි කරගෙන සිටිනවා.

විශේෂත්වය වන්නේ එලිස‍බෙත් රැජිණ සහ ඉහත රාජ්‍ය නායිකාවන් සියලු දෙනාටම වඩා ඉදිරියෙන් සිටීම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක සමත් වීමයි. ඇය 29වන ස්ථානයේ පසුවෙයි. ඇය එක්සත් රාජධානියේ Macquarie සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙන්ම ප්‍රධාන විධායක නිළධාරිණියද වේ.

ශෙමාරාගේ පියා ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන අතර එක්සත් රාජධානියේ උපත ලැබූ ඇය කුඩා කාලයේදී ශ්‍රී ලංකාවේ වාසය කරන තිබෙනවා. ඉන්පසු වයස අවුරුදු 13 දී ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති අතර එහිදී අධ්‍යාපන කටයුතු සිදුකර තිබෙනවා.

ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 අතර සිටින එකම ප්‍රධාන විධායක නිළධාරිනියද වේ.

ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර රාජ්‍ය නායකයන් 10 දෙනෙකු සිටින අතර මීට අමතරව ප්‍රධාන ඇමති ධුර දරන කාන්තාවන් කිහිප දෙනෙකුද වේ. ඉන්දියානු මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් 41 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඉන්දුනීසියානු මුදල් අමාත්‍ය ශ්‍රී මුල්යානි ඉන්ද්‍රාවතී 78 වැනි ස්ථානයේ පසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *