විදෙස් හිමිනමගේ අපවත්වීම සොයා බලන්න රහස් පොලීසිය යොදවන්නැයි අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (රහස් පොලීසියේ) මැදිහත්වීමෙන් වහාම පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(10) පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට යවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍යතුමා පොලිස්පතිතුමාට දැනුම් දුන්නේය.

නෙදර්ලන්ත ජාතික හිමිනමගේ අපවත්වීමට අදාළ පරීක්ෂණ සඳහා දැනටමත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ප්‍රකාශ කර තිබෙන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා, අදාළ විමර්ශනවල ප්‍රගතිය අග්‍රාමාත්‍යතුමාට සැළ කරන බව දන්වා තිබේ.

ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් දැනටමත් එම ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා දුරකථන ඔස්සේ දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 14 =