මාදිවෙල – බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම හෙට

(කොළඹ, ලංකාපුවත්) –මාදිවෙල – බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (15) සිදු කිරීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කෙරුණේ පසුගිය අප්‍රේල් මස 21 වැනි දා ය.

අක්කර 23 ක් පුරා ක්‍රියාත්මක වූ මෙම සංවර්ධන ව්‍යාපෘතියට කෘෂිකාර්මික පද්ධතිය සංවර්ධනය, ඇවිදින මංතීරුව සහ පා පැදි ධාවන මං තීරුව ඉදි කිරීම, ළමා උද්‍යානය, එළිමහන් ව්‍යායාම් ප්‍රදේශය සකස් කිරීම හා වාහන නැවතුම් ස්ථාන දෙකක් ඇතුළත් වේ.

කි.මී. 1.5 ක ඇවිදීවේ මංතීරුවක්, කි.මී. 1.5 ක දිගින් යුත් පාපැදි මංතීරු දෙකක්, ළමා උද්‍යානයක්, අංග 08 කින් සමන්විත එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක්, එකවර රථ 40 ක් ගාල් කළ හැකි රථගාලක් ප්‍රධාන මාර්ගයට සමාන්තරව රථවාහන ගාල් කිරීමේ ප්‍රදේශයක් සහ යල මහ කන්න දෙකටම වගා කිරීමේ පහසුකම් සඳහා ජලය සපයා දිය හැකි වැව් දෙකකින් සමන්විත වේ.

මාදිවෙල බටහිර නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක නාගරික කෘෂිකාර්මික හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය කොවිඞ් – 19 පළමු අදියර පැතිර යන අවස්ථාවේ දී ආරම්භ කළ ව්‍යාපෘතියක් වන අතර, එය කොවිඞ් – 19 දෙවන අදියර මර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක වන අතරතුර මෙම ව්‍යාපෘතිය නිම කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ඉතිහාසය තුළ ලබාගත් අති විශිෂ්ඨ ජයග්‍රහණයකි. ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දෙමින් කියා සිටියේ කොවිඞ් – 19 අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් රටේ සංවර්ධන ව්‍යාපෘතින් ද ක්‍රියාත්මක කළ යුතු බවයි. නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත් වීම මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සිදු කරන ලදි. රට මුහුණ දී ඇති වසංගත රෝග කාල සීමාවක ආරම්භ කර සම්පූර්ණයෙන් අවසන් කරනු ලබන මහා පරිමාණ ව්‍යාපෘතියක් වන මෙය නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරන ලද තවත් අති විශිෂ්ඨ ගණයේ පාරිසරික ව්‍යාපෘතියකි.

නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය – මාදිවෙල බටහිර අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක විණි. ප්‍රමාණයෙන් අක්කර 23 ක් පුරා විහිදී ඇති මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය රු.මි. 390 ක් වේ. අදියර 01 යටතේ කාබනික පොහොර භාවිතයෙන් දේශීය වී වර්ග පමණක් වගා කරන කුඹුරු ප්‍රදේශයක් හා ප්‍රථම වරට ගොඩ බෝග වගාව කොළඹ ආශ්‍රිත ප්‍රදේශයන් හි ප්‍රචලිත කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ගොඩ බෝග වගා බිම් කොටස් 44 කින් ද සම්න්විත වේ.

දේශියත්වය අගය කරමින් කාබනික පොහොර හා දේශීය වී වර්ග පමණක් භාවිතා කොට ඇති මෙම කුඹුරු යාය තුළින් ආදර්ශමත් දේශීය ආහාර සංස්කෘතියක් ඇති කිරීමට ද හැකියාව ලැබී තිබීම විශේෂත්වයක් වන අතර ම, කොළඹින් බැහැරව ක්‍රියාත්මක කරනු ලබන ගොඩ බෝග වගාව සහිත ග්‍රාමීය කෘෂි කර්මාන්තයේ අංග නාගරික කෘෂි කර්මාන්තයට ඇතුළත් කොට ක්‍රියාත්මක කරනු ලබන පළමු අවස්ථාව ලෙස ද මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වේ.

නගර ආශ්‍රිතව පුරන්ව පැවති ඉඩම් ඵලදායීව භාවිතයට ගැනීමේ අරමුණ ඇතිව නාගරික කෘෂිකර්මාන්ත ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් “කිඹුලාවල ආදර්ශ වෙල්යාය හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය” ලෙස 2013 වසරේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද අතර, ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලද පළමුවන ව්‍යාපෘතිය එය වේ. මාදිවෙල ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මේ යටතේ ක්‍රියාත්මක දෙවන නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය වේ. තවද, මිරිහාන ප්‍රදේශයේ අධිකාරිය සතු අක්කර 93 ක් පමණ වන පුරන් කුඹුරු ප්‍රදේශය තුන්වන ව්‍යාපෘතිය ලෙසත්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල ආශ්‍රිත මෙම අධිකාරිය හා පෞද්ගලික අංශය සතු අක්කර 80 ක් පමණ වන පහත් බිම් ප්‍රදේශය අංක හතර ලෙසත්, නාගරික කෘෂිකාර්මික හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන සැලසුම් යටතේ සැලසුම් කර ඇත.

මාදිවෙල ව්‍යාපෘතියේ අදියර 01 යටතේ පුරන් කුඹුරු වගාව සඳහා නැවත සකස් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ ගොවිජන මහතුන්ගේ සහයෝගීත්වයෙන් සිදු කරනු ලැබු අතර, මෙම වසරේ ඔක්තෝම්බර් මස 20 වන ගුරු දින නැකතට “වප්මඟුල් උත්සවය” සිදු කොට සී සෑම සිදු කරන ලදී. තවද, සාම්ප්‍රදායික ගොඩ බෝග වගාවන්ගේ මිදි, ගෝවා, රාබු, බෙල් පෙපර් ආදීන්ගෙන් සමන්විත තව ගොඩ බෝග වගා ක්‍රමවේදය හඳුන්වාදෙමින් ගොවි මහතුන් 44 දෙනෙකු සම්බන්ධ කරගෙන මේ වන විට ඉතා සාර්ථක ව ක්‍රියාත්මක කරමින් පවති. මෙම බෝගවල ඵලදාව වෙළඳාම් කිරීම සඳහා ඇවිදින මංතීරුව අසල වෙළඳාම් කුටි ද ඉදිකිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර මෙම භූමිය තුළ පදිංචි අනවසර පවුල් 12 ක් සඳහා රු.මි. 06 ක් බැගින් වටිනා නිවාස ලබා දුන් අතර, සිය කැමැත්තට තම අනවසර ඉදිකිරීම් ඉවත් කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලදී. ඒ අනුව සාමාජීය වශයෙන් ඉතා ඵලදායි ව්‍යාපෘතියක් ලෙසට ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ඉඩම් වටිනාකම හා යටිතල පහසුකම් ප්‍රවර්ධනය, මෙම ව්‍යාපෘතිය මඟින් සිදු වූ අමතර ප්‍රතිලාභ ලෙස හඳුන්වා දිය හැක.

මාදිවෙල බටහිර (අදියර I) යනුවෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රු.මි. 390 ක් වැය වු අතර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුගේ අධික්ෂණය යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − twelve =