ශ්‍රී ලංකා ගුවන් විදුලිය 95 වන සංවත්සරය අද සමරයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතියේ සන්නිවේදකයා ශ්‍රී ලංකා ගුවන් විදුලිය, එදා මෙදා තුර අභියෝග රැසක් තරණය කර 95 වන සංවත්සරය අභිමානයෙන් සමරයි. එවක “කලම්බු රේඩියෝ” නමින් ආරම්භ වූ ගුවන් විදුලිය එවරස්ට් කන්දටත්, දකුණු ආසියානු කලාපයටත්, මැදපෙරදිගටත් ශ්‍රවණය විය.

අපි අභිමානයෙන් සමරන 95 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයට පමණක් සීමා වූ ගුවන් විදුලි ආයතනයක සංවත්සරයක් නොව සමස්ත ආසියානු කලාපයේ ස්ථාපිත පළමු ගුවන් විදුලි සේවයේ 95 වන සංවත්සරයයි. දහමින් රට දැහැමි කළ – ගී රසින් ශ්‍රාවකයා කුල්මත් කළ දැනුමින් යෞවනයට පෙරමඟ පෙන් වූ – ජාතියේ ඉදිරි ගමනට සදා සවියක් වූ – ප්‍රබුද්ධ සමාජ සන්නිවේදකයා ලෙස ජාතික ගුවන් විදුලිය අමිල යුග මෙහෙවරක තේජාන්විත සහකරු වශයෙන් නිහතමානී සතුටකට උරුමකම් කියයි. ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ලෙස 1925.12.16 දින නිල වශයෙන් ආරම්භ වූ ගුවන් විදුලිය, ශ්‍රී ලාංකේය ජන සමාජයේ ජීවන හුස්ම තරමටම බැඳෙමින් මෙරට ගුවන් විදුලි වංශකතාවේ ස්වර්ණමය යුගයකට හිමිකම් කියමින් නූතන තරඟකාරී වාණිජ සම්ප්‍රදාය හමුවේ යම් අභියෝගවලට මුහුණ දෙමින් මහජන සේවය පිණිසම ක්‍රියා කරයි. 95 වසර සපුරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථවේ වර්තනමාන අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සුවිශාල වගකීමක් මා හට පැවරී තිබේ. සෞභාග්‍යයේ දැක්ම අනුව ජාතික ගුවන් විදුලිය දියුණු කිරීම සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් පියවර රැසක් වර්තමාන පාලන අධිකාරිය වශයෙන් අපි ගෙන තිබේ. තවත් වසර කීපයකින් 100 වෙනි සංවත්සරය සමරන ජාතික ගුවන් විදුලිය වර්තමානයට වඩා දියුණු තත්ත්වයකට ගෙන යාම සඳහා වූ පස් අවුරුදු සැලැස්මකට අනුව අපි කටයුතු කරන්නෙමු.

අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාව මත ගුවන් විදුලිය ආරම්භ වුවත් එය රටට ලැබුණු ආශිර්වාදයක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට, ජනතාවගේ මනෝ මූලික තත්ත්වය, භාෂා වැඩිදියුණු වීමට, සංගීතය ක්ෂේත්‍රයට වශයෙන් ස්වදේශීකත්වය ස්ථාපිතවීමට දායක වූ සන්නිවේදන ආයතනයක් ලෙස ගුවන් විදුලිය ඉටු කර තිබෙන කාර්යබාරය අති විශාල ය. සියලු ජාතීන්ට, භාෂාවලට, ආගම්වලට මෙන්ම පද්ධතිවලට අමතමින් මෙරට ජනතාවගේ පරිකල්පනය සහ ජන විඥානය නිවැරදි දිශානතියට යොමු කිරීමට දායක වූ මෙරට ප්‍රමුඛ සන්නිවේදන ආයතනය වන්නේ ජාතික ගුවන් විදුලිය යි.

ගුවන් විදුලිය එක නාලිකාවක් නොව නාලිකා 13 කින් සමන්විත ගුවන් විදුලි පද්ධතියකි. ජාතික නාලිකා 6 ක් සහ ප්‍රාදේශීය නාලිකා 7 කි. මෙරට සියලු ජාතීන්ට සහ ආගමිකයන්ට ජාතික ගුවන් විදුලිය විවෘතයි. මේ රටේ සමස්ත සමාජයේ හරස්කඩ හඳුනාගන්නේ ජාතික ගුවන් විදුලියයි.

වර්තමානයේ දී පවා ගුවන් විදුලිය මඟින් රටට හා ජනතාවට කරන සේවය පිළිබඳ මහඟු ගෞරවයක් සහ ආඩම්බරයක් පවතී. එය තවත් වර්ධනය කළ යුතුය යන්න මාගේ හැඟීමයි.

2021 න් පසු සන්නිවේදන අවකාශය තුළ මුහුණ දීමට තිබෙන තරඟකාරි ව්‍යුහමය තත්ත්ව වෙනස් කර ගනිමින් නිෂ්පාදනයත් තාක්ෂණයත් සාර්ථකව කළමනාකරණය කර ගනිමින්, මේ රටේ ප්‍රමුඛ සන්නිවේදන ආයතනයක් ලෙස ඉදිරියට යෑම අපගේ ඉලක්කය වී තිබේ.

ඊට හොඳ මානව සම්පත් අවශ්‍යයි. අවශ්‍යතාවට ගැලපෙන ලෙස මානව සම්පත සංවර්ධනය කරමින් තරඟකාරි සන්නිවේදන ව්‍යුහයකට අවශ්‍ය තාක්ෂණික දියුණු කිරීම කළ යුතුයි. අපි බලාපොරොත්තු වන්නේ මේ ආයතනය ඉදිරි අවුරුදු සියය සඳහා උචිත වන සන්නිවේදන ආයතනයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට රජයේ සහයෝගය, අපි ආයතනයක් වශයෙන් උපයන අරමුදල් ද මත කළමනාකරණය කිරීමයි.

ගුවන් විදුලියේ ප්‍රවර්ධන කටයුතු පිලිබඳ බොහෝ දෙනා විමසති. ඒ ගැන මගේ අදහස වන්නේ ගුවන් විදුලිය තමයි ප්‍රවර්ධනයේ ප්‍රමුඛයා. උදාහරණයක් ලෙස 1928 දී පළමු ධර්ම දේශනාව විකාශය වූ දා සිට ගුවන් විදුලිය දෛනිකව ධර්මය සන්නිවේදනය කර තිබේ. අද එය වාණිජමය රැල්ලකට හැඩගැසී තිබුණත්, රටේ ජනතාව ආගමික, දේශපාලන, සමාජීය, වශයෙන් දියුණු කිරීමට, දැනුවත් කිරීමට සහ ඔවුන්ගේ පරස්පරතා මඟ හැරවීමට ගුවන් විදුලිය පුලුල් වැඩ කොටසක් කර තිබේ. එපමණක් නොව විවිධ භාෂා කතා කරන ජනතාවගේ පොදු සන්නිවේදන ප්‍රභවය වන්නේ ද ගුවන් විදුලියයි.

භාෂාමය වශයෙන් ද රට නිවැරදි කර ඒකාග්‍රතාවක් භාෂාව තුළ ගොඩ නැගීමට ද ගුවන් විදුලිය ක්‍රියා කර තිබේ. වර්තමානයේ බොහෝ දෙනා අදහස් කරන “ප්‍රවර්ධනය” යනු නාලිකා ස්ථානගත අගය (Channel Ratings) වැඩි කර ගන්න කරන්නා වූ දෙයකි. නමුත් අපි හැමදාමත් ඉටු කර තිබෙන්නේ ප්‍රවර්ධන කාරණා වුවද එය මැනවින් තේරුම්ගැනීමට ජනතාවට නොහැකි වී තිබෙන බව මාගේ හැඟීමයි. බලය, ප්‍රාග්ධනය හෝ වෙනත් ව්‍යාපාරික අවශ්‍යතා මත විවිධ පිරිස් මෙම මාධ්‍ය සන්නිවේදනයේ හිමිකරුවන් බවට පත් වීමෙන් අනවශ්‍ය තරඟයක් රට තුළ නිර්මාණය වී මිනිසුන්ට දරාගැනීමට නොහැකි මාධ්‍ය පීඩනයක් එල්ල වී තිබේ. ඊට හේතු වී තිබෙන්නේ වෙළෙඳපොල ආර්ථිකය තුළ වැඩි ලාබ සොයා තරඟකාරීව මාධ්‍ය හැසිරවීමට යාමයි. මාධ්‍ය හැසිරවීමේ දී ලාබ සෙවීමට, මිනිසුන් පීඩනයට පත් නොකර අපේ උත්සහය වන්නේ පාඩු නොවන ප්‍රශස්ත මට්ටමේ සහ සමාජ හානියක් නොමැති ආයතනයක් ලෙස පවත්වාගෙන යාමටයි. ඊට අඩිතාලමක් මේ වසරේ දමා ඇති අතර එහි ප්‍රතිඵල ලබන වසරේදී සමාජයට ලබා දීමට හැකි වෙතැයි මම විශ්වාස කරමි.

ගුවන් විදුලිය දෛනිකව විකාශය කරන වැඩසටහන් හෝ කොටසක්, විශාල පිරිසකට ශ්‍රවණය කිරීමට හැකි වන ලෙස අන්තර්ජාලයට මුදා හැරීම පිණිස වැඩපිලිවෙලක් ඉදිරියේදී සැලසුම් කෙරේ. නිසි ක්‍රමවේදයකින් තොරව සමාජ මාධ්‍යයට අවතීර්ණ වීමෙන් එහි තරඟයට මුහුණ දීමට නොහැකි වී තිබේ. නමුත් ඉදිරියේ දී හෝ සැලැසුමක් ඇතිව කටයුතු කිරීමයි අපගේ අපේක්ෂාව.

සන්නිවේදන ප්‍රවාහයේ සිදු වූ දියුණුවත් සමඟ තොරතුරු ලබා දීමේ ප්‍රවාහ වෙනස් විය යුතුයි. එසේ නොවන්නේ නම් ඉදිරි පරපුර සමඟ යාමට නොහැකි වේ. සාම්ප්‍රදායිකත්වය මත රැඳී නොසිට ඒ සඳහා අවශ්‍යතාවලට ගැලපෙන පරිදි කටයුතු කිරීමෙන් ඔවුන් අඛණ්ඩව රඳවා ගැනීමට හැකිය. විශේෂයෙන් අපි වැනි දූපත් රටක, කේන්ද්‍රගත වූ සමාජ පරිසරයක ඕනවටත් වඩා මාධ්‍ය ආයතන බිහි වී මේ රටට නොගැලපෙන මාධ්‍ය ව්‍යුහයක් ගොඩ නැගීමෙන් සමාජයට අතිවිශාල හානියක් වී ඇත. මේ නිසා මේවායේ නියාමනයක් පාලනයක් අවශ්‍යයි. එසේ නොමැති වුවහොත් රටට විය හැකි හානිය තවත් වර්ධනය වනු ඇත.

අනපේක්ෂිත COVID 19 වසංගත තත්ත්වයට අප රට මුහුණ දුන් අවස්ථාවේ ජාතික ගුවන් විදුලිය ජාතිය වෙනුවෙන් උදාර සේවයක් ඉටු කිරීමට සමත් විය. සන්නිවේදන තාක්ෂණයේ දියුණුව සමඟ සෙසු රටවල් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පුලුල් මාධ්‍ය ආවරණයක නිරත වූ සමයක ජාතික ගුවන් විදුලිය ද තම ශක්තිය සහ ධාරිතාව උපරිම කාර්යක්ෂමව යොදා ගනිමින් ගුවන් විදුලි සහන මැදිරිය මඟින් ජනතා ගැටලු විසඳීමට මැදිහත් විය. එසේම දැයේ දරුවන්ගේ බිඳවැටෙමින් පැවති අධ්‍යාපනය යලි නගා සිටුවීම සඳහා ගුවන් විදුලිය ගුරුවරයා බවට පත් විය. ගෙවුණ මාස 10 තුළ අධ්‍යාපනය සඳහා පැය 1500 කට වැඩි ප්‍රමාණයක් වැය කර ඇත. වසංගත තත්ත්වය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දූෂමාන ආරංචි පැතිර යන අවස්ථාවේ ජනතාවගේ කුකුස දුරු කරන විශ්වාසවන්තයා බවට ජාතික ගුවන් විදුලිය පත්විය.

වසර 95 ක ගුවන් විදුලියේ ගමන් මඟ තුළ ජනතාව නිවැරදි කිරීමට, සමාජ පද්ධතිය ආරක්ෂා කිරීමට ඉටු කළ මෙහෙය අති විශාලය. ස්වදේශීකත්වය ආරක්ෂා කිරීමට සහ සැබෑ ජන හඬට ඉඩ ලබා දෙමින් අනාගත පරපුර පෝෂණය කිරීමේ පෙරගමන්කරුවා සේ ක්‍රියා කර තිබේ. එසේ කිරීමට නම් මහජනතාවට අයිති රාජ්‍ය සහ මහජන සන්නිවේදන ආයතනයක් ලෙස ගුවන් විදුලි ශ්‍රාවකයන් නියෝජනය කරන වෙළෙඳපොල තුළ සිටින අලෙවිකරුවන්, දේශපාලන කඳවුරු, සමාජ කණ්ඩායම් ඇතුලු පාර්ශවවල ප්‍රමුඛයන්, නායකයන්, පාලකයන් ඇතුලු සියලු දෙනාට මේ ආයතනය සම්බන්ධව වගකීමක් පවතී. මෙම මහඟු කර්තව්‍ය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිලාභ, පරිත්‍යාග, අවධානය, කැපවීම, අපිට ලබා දිය යුතුයි. මහජනතාවගේ වගකීම වන්නේ මෙවැනි සන්නිවේදන පද්ධතියක් හුදකලා වීමට හෝ ආර්ථික සමාජ වශයෙන් දුර්වල වීමට නොදී පවත්වාගෙන යාමට දායකත්වය ලබා දීමයි. එබැවින් රටේ ජනතාවට, ව්‍යාපාරිකයන්ට, දේශපාලන නායකත්වයට සහ ආයතන ප්‍රධානීන්ට අපි ආරාධනා කරන්නේ ගුවන් විදුලිය හුදකලා නොකර අවශ්‍ය ශක්තිය හා මුල්‍යමය සහයෝගය ලබා දී ජනතා අවශ්‍යතා වෙනුවෙන් අයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන ලෙසටයි.

ජාතික ගුවන් විදුලියේ අභිමානවත් 95 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් අප සූදානම් කර තිබේ. සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ගුවන් විදුලියට පැමිණ අපගේ මැදිරියක ඔවුන්ගේ ගුවන් විදුලිය පැයක් විකාශය කිරීමට අපි ආරාධනා කළෙමු. එමෙන්ම ජාතික කර්තව්‍යයන් සම්බන්ධයෙන් සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන සමඟ අපි සහයෝගයෙන් එක්ව වැඩ කරන බැවින්, ජාතික ගුවන් විදුලියේ 95 වන සංවත්සරය පිලිබඳ ඔවුන්ගේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා දෙන ලෙස ද අපි ඔවුන්ට ආරාධනා කළෙමු. ආයතනයේ දියුණුව වෙනුවෙන් ඉදිරි පස් අවුරුදු සැලසුමක් සකස් කර තිබේ. එය සකස් කළේ පළමු, දෙවන, තෙවන අවුරුදු වශයෙන් ඉලක්කගතවයි. අපගේ අපේක්ෂාව තව අවුරුදු දෙකක කාලයක දී ගුවන් විදුලිය ලාබදායී මට්ටමට ගේන ඒමටයි. ඊලඟ වසරේදි ගුවන් විදුලිය, අලාභ නොමැති මහා භාණ්ඩාගාරයෙන් හෝ යැපෙන්නේ නොමැති ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට අප උත්සහ කරන්නෙමු. පස් අවුරුදු සැලසුම තුළ වසර 100 සපුරන විට ගුවන් විදුලිය සම්බන්ධයෙන් තිබෙන තාක්ෂණික, මානව සම්පත සහ ඉංජිනේරුමය වශයෙන් කාරණා දියුණු කරගෙන ගුවන් විදුලිය මේ රටේ සියලු ප්‍රදේශවල සමස්ත ජනතාවට ඕනෑම සන්නිවේදන උපාංගයකින් (Devices) ඇහෙන, ජනතාවට රසවත් නිර්මාණ ඉදිරිපත් කරන ස්ථානයකට පත්කිරීමේ සැලසුමක් සකස් කරමින් තිබේ.

එමෙන්ම ගුවන් විදුලිය පිලිබඳ පුහුණු වැඩසටහන්, පුහුණු පාඨමාලා, අධ්‍යාපනික පාඨමාලා පුලුල් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු. තාක්ෂණය, සංගීතය, මාධ්‍යකරණය, වාර්තාකරණය, ඉංජිනේරුමය කාර්යයන්, පටිගත කිරීම් වැනි විවිධ ක්ෂේත්‍රවලට අදාළ පාඨමාලා ආරම්භ කර තිබේ.

ඒවා ප්‍රාදේශිය මට්ටමින් ද සැලසුම් කර ඇත. ජනතාව සමඟ සම්බන්ධ වී, ගමින් ගම ජනතාව සමඟ බද්ධ වූ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්, ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ගුවන් කාලයේ ඉඩදීම මෙන්ම මේ රටේ දේශපාලන, සමාජ කාරණා සාකච්ඡා කිරීමේ දී සාධාරණ තැනක සිට එම සාකච්ඡා සිදු කර ජනතාවට නිවැරදි මඟ පෙන්වීමක් ලබා දීම සඳහා අප උත්සහ කරන්නෙමු.

ජාතීන් අතර තිබෙන දුර්වල මතවාද, ආගමික පරස්පරතා මෙන්ම ප්‍රාදේශීය පරස්පරතා පවා අහෝසි කළ හැකි සන්නිවේදන කාර්යයක් සැලසුම් කිරීමට එහිදී අපි අපේක්ෂා කරන්නෙමු. අතිගරු ජනාධිපතිතුමාගේ දර්ශනය, එතුමා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශය තුළ තිබෙන්නේ ද මහජන සන්නිවේදන ආයතන දෙකක් ලෙස ජාතික ගුවන් විදුලිය සහ ජාතික රූපවාහිනිය පවත්වාගෙන යා යුතු බවයි.

රජයේ එම අරමුණු සහ ඉලක්ක සමාජගත කිරීමට අපට වගකීමක් තිබේ. අප එය කැපවීමෙන් ඉටු කරන්නෙමු. ඒ අනුව රජයේ අරමුණට සමගාමී සැලැස්මක් ක්‍රියාත්මක කරමින් වැඩසටහන්, ප්‍රවෘත්ති, සාකච්ඡා විකාශය කරන්නෙමු.

ජනතාවගේ සුබ සිද්ධිය, යහපැවැත්ම මෙන්ම ජාතියේ සාරධර්ම සුරැකීමේ වගකීම පෙරදැරිව ජාතික ගුවන් විදුලිය සිය මෙහෙයුම් පවත්වාගෙන යයි. රජයේ සංවර්ධන වැඩපිළිවෙල පිලිබඳ මහජනතාව දැනුවත් කිරීමත් රජයේ අරමුණු සහ පරමාර්ථ පිළිබඳ ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබා දීමත් මහජන යහපත පිණිස පෙරමුණ ගැනීමත් මහජන සන්නිවේදනය තුළ ගුවන් විදුලියේ ප්‍රධාන භූමිකාව වේ. එනිසා එදත් අදත් කවදත් ජාතික ගුවන් විදුලිය යනු ජනතාවගේ ජාතික සම්පතකි. ජනතාව විසින් ජාතික ගුවන් විදුලි සේවයේ වටිනාකම ඇගයීම කළ යුතු වන්නේ එය මතු පරපුරට ද දායාද කළ යුතු උරුමයක් බැවිනි. ගුවන් විදුලිය වසර 100 සමරන්නට ඇත්තේ තව වසර කීපයකි. ජාතියේ මහා පහන්වැට තවත් වසර 100 ක් ජනතාවට දායාද කිරීමේ ජාතික වගකීම ඔබ අප සියලු දෙනාට ලැබි ඇති බරපතල අභියෝයක් මෙන්ම වගකීමක් බවද සිහිපත් කරන්නෙමු.

චන්ද්‍රපාල ලියනගේ
අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *