ශ්‍රී ලංකාවේ අර්ථික සංවර්ධනය සඳහා චීන රජයෙන් ආයෝජන රැසක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීන රජය විසින් ආයෝජන රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවේ පැවසීය.

ඒ අනුව ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය (පෝර්ට් සිටි) තුළ විදේශ ආයෝජනය සිදු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සැකසීමට චීන රජය සැලසුම්කොට තිබේ. එමගින් වරාය නගරය තුළ විදේශ ආයෝජන සිදු කිරීම සඳහා ආයෝජකයන් දිරිමත් කිරීමට අපේක්ෂා කෙරෙන බව චීන තානාපතිවරයා කථානායකවරයා හමුවේ පැවසීය.

එම හමුව පසුගියදා (15) කථානායක නිල නිවසේදී පැවැත්විනි.

එමෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 600ක ආයෝජනයක් ලෙස හම්බන්තොට ඉදිකෙරෙන ටයර් කර්මාන්ත ශාලාව හා සමාන තවත් ටයර් කර්මාන්ත ශාලාවක් මතුගම ප්‍රදේශයේද ඉදි කිරීමට චීන රජය බලාපොරොත්තුව සිටින බවද තානාපතිවරයා සඳහන් කළේය.
එයට අමතරව චීන රජය විසින් ලංකාව තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලබන වසරේ ඉදි කිරීමට සැලසුම් කොට ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනයට විශාල උත්තේජනයක් සපයනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු දූත පිරිසකට චීන පාර්ලිමේන්තුවේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලෙසද චීන තානාපතිවරයා මෙහිදී මහින්ද යාපා අබේවර්ධන මහතාට ආරාධනා කලේය.

මෙහිදී චීන රජය විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සිදුකල මූල්‍ය පරිත්‍යාගය එහි උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා වෙත පිරිනමන ලද අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *