LPL තරඟාවලියේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකර ගනියි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ක්‍රිකට් වංශ කතාවට නව පිටුවක් එක් කරමින් පළමුවරට පැවැති ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 ‘ෆ්‍රැන්චයිස්’ ක්‍රිකට් තරගාවලියේ මංගල ශූරතාව දිනාගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත් විය.

ඊයේ රාත්‍රී හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක විශිෂ්ට ජයක් වාර්තා කළ ජැෆ්නා පිල ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා අතින් එල්පීඑල් කුසලානය හිමිකර ගත්තේය. තරගයේ වීරයා සම්මානය සොහේබ් මලික්ට හිමි වූ අතර වනිඳු හසරංග තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.

කාසියේ වාසිය දිනූ තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් පසු නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 188ට පිළිතුරු ලෙස ගෝල් පිලට නියමිත ඕවර 20දී ලබාගත හැකි වූයේ කඩුලු 9කට ලකුණු 135ක් පමණි.

ජැෆ්නා පිල වේලාසනින්ම තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූයේ ග්ලැඩියේටර්ස් පිලේ පළමු ඕවර දෙක ඇතුළත මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වනවිට ගෝල් මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම පිටියෙන් ඉවත් කිරීමෙනි.පළමු ඕවරයේ තුන්වැනි පන්දුවෙන් හස්රතුල්ලා සසායි ලකුණු ලැබීමටත් පෙර දවාලීමට ධනංජය ද සිල්වා සමත්වෙද්දී සුරංග ලක්මාල් දෙවැනි ඕවරයේදී කඩුලු 2ක්ම දවාලීමට සමත්විය. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකට දුවද්දී දැවීයෑමට හසු වූ අතර, අහ්සාන් අලි ලකුණු 6කට දැවී ගියේ කඩුලු රකින ජොන්සන් චාල්ස් වෙත උඩපන්දුවක් ලබා දෙමිනි.

යාපනය කණ්ඩායමට තර්ජනයක් එල්ල කරමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ගෝල් පිලේ නායක භානුක රාජපක්ෂ මුළු ලකුණු සංඛ්‍යාව 62 දක්වා ඉහළ නැංවූයේ ශෙහාන් ජයසූරිය සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 55ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. පස්වැනි ඕවරයේදී පාදයේ ආබාධයකට ලක්ව දැඩි වේදනාවෙන් බිම ඇද වැටුණු භානුකට කණ්ඩායමේ භෞතචිකිත්සකවේදියාගේ සහාය ලබාගැනීමට ද සිදුවිය. නමුත් අසීරුවෙන් වුවත් ඉනිම ගොඩනැගීමේ වගකීම අමතක නොකළ හෙතෙම ධනංජය ද සිල්වා යැවූ 7 වැනි ඕවරයේදී පිට පිට හයේ පහර දෙකක් ද, තිසර පෙරේරා යැවූ ඊළඟ ඕවරයේදී පිට පිට හයේ පහර දෙකක් ද එල්ල කරමින් සිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවීම කැපී පෙනුණි.

කෙසේ නමුත් පළමුවරට පන්දු යැවීමට කැඳවු සොහේබ් මලික් හමුවේ කඩුල්ල පූජා කිරීමෙන් පසු ගෝල් ඉනිමේ බලාපොරොත්තු බිඳ වැටිණි. අගනා ඉනිමක් ක්‍රීඩා කළ භානුක පන්දු 17කදී වේගවත් ලකුණු 40ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ද සමගිනි. අනතුරුව උස්මාන් ශින්වාරිගේ පන්දුවකට ශෙහාන් ජයසූරිය දැවීයෑමෙන් පසු තරගයේ පාලනය මුළුමනින්ම ජැෆ්නා පිලට නතු විය.

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා පිල ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ ප්‍රබලතම තර්ජනය වන මොහොමඩ් ආමීර්ගේ තර්ජනය වේලාසනින්ම ඉවත් කරගැනීමේ අරමුණ ඇතිව ක්‍රීඩා කළ අතර, මේ පිතිකරුවන් දෙදෙනා ඕවර 4.4කදි යාපනයට ලකුණු 44ක් ලබාදුන්හ. නමුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ යොවුන් වේගපන්දු යවන්නා වන ධනංජය ලක්ෂාන් 5 වැනි ඕවරයේදී ජොන්සන් චාල්ස්ගේ ඉනිම ලකුණු 26කට සීමා කිරීමෙන් පසු යාපනය පිලේ පිතිකරුවන් තරමක පීඩනයකට හසුවිය. හතරේ පහර 6ක් ඇතුළත් වූ ජොන්සන් චාල්ස්ගේ ඉනිමට වැය වූයේ පන්දු 15ක් පමණි.

යාපනය පිලේ පිතිහරඹ තුරුම්පුවක් වන අවිශ්ක ප්‍රනාන්දු මුළු ලකුණු සංඛ්‍යාව 70දී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සහන් ආරච්චිගේ සමත්විය. පන්දු 23කින් ලකුණු 27ක් රැස් කළ අවිශ්කගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර 2ක් එක්විය.

ඕවර 10ක් නිමා වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 77ක් ලබා පසුබෑමකට ලක්ව සිටි යාපනය කණ්ඩායම ඉහළට ඔසවා තැබූ සොහේබ් මලික් සහ ධනංජය ද සිල්වා සිවුවැනි කඩුල්ලට ලකුණු 69ක සම්බන්ධතාවක් ගොඩ නැගුහ. ලක්ෂාන් සඳකැන් යැවූ 14 වැනි ඕවරයේදි හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමග ලකුණු 20ක්ම උදුරා ගත් මේ පිතිකරුවන් දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාව 139 දක්වා ඉහළ දැමුවේ ඕවර 15.5කදීය. ධනංජය ලක්ෂාන්ට දෙවැනි කඩුල්ල හිමිකර දෙමින් ධනංජය ද සිල්වා දැවී යද්දී ලකුණු 33ක් ලබා සිටියේය. හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිමට වැය වූයේ පන්දු 20ක් පමණි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ මලික් පන්දු 35කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කිරීමට සමත් විය.නුවන් තුෂාර යැවූ ඉනිමේ අවසන් ඕවරයේදී ලකුණු 13ක් උදුරා ගැනීමට තිසර පෙරේරා සමත්වූයේ දැවැන්ත හයේ පහරක් ද සමගිනි. යාපනය පිලේ නායක තිසර පෙරේරා ඊයේ නොදැවී ලකුණු 39ක් රැස් කළේ පන්දු 14කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *