හෙට බටහිර අහසේ දුර්ලභ අහස් සංදර්ශනයක්: බ්‍රහස්පති සහ සෙනසුරු දිගටි ආලෝක බෝලයක් මෙන් දිස් විය හැකියි

(කොළඹ, ලංකාපුවත්) –සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දින වල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකියහැකි වනු ඇත. එදිනට එම ග්‍රහ ලෝක දෙක එක්ව අසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

හිරු බැස යෑමෙන් පසු මෙම ග්‍රහලෝක දෙක බැසයාමට පෙර මේදිනවල ඔබට බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව ඔබට පෙනෙනු ඇත. 2020 දෙසැම්බර් 21 වන දින ග්‍රහලෝක දෙක, අන්සකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණේ.

සෙනසුරු සහ බ්‍රහස්පතී රාත්‍රී 8.14 ට බැසයන බැවින් මෙය හොදින් නැරබීමට නම් උස් ගස් වලින් හෝ උස ගොඩනැගිලි වලින් තොර බටහිර අහස හොදින් පෙනෙන ස්ථානයක් හෝ උස ස්ථානයක් සුදුසු වේ. දෙසැම්බර් 21 දා ඉර බැස ගොස් මින්ත්තු 30 සිට, එනම් ප.ව. 6.30 පමණ සිට ප.ව. 7.30 පමණ දක්වා කාලය තුළ තරමක් නිරත දගට වන්නට බටහිර අහස දෙස පියෙවි ඇසින් බැලු විට මෙම චමත්කාර දසුන දිස්වනු ඇත. දෙනෙතියක් තුලින් ද නැරබිය හැකිය.

යා වටා ඇති ඔවුන්ගේ ඉලිප්සාකාර චලනයේ දී බ්‍රහස්පති ග්‍රහයා සෑම වසර 19.6 කට වරක් සෙනසුරු ග්‍රහයාට ආසන්න වන දුර්ලභ සිදුවීමක් ඇතිවන අතර මෙම දෙසැම්බර් 21 සිදුවීම මෑත ඉතිහාසයේ දක්නට ලැබෙන ආසන්නතම අවස්ථාව වේ.

මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397 කට පෙර එනම්, එනම් ගැලීලියෝ සිය පළමු නක්ෂත්‍ර දුරේක්ෂය ගොඩනඟා බ්‍රහස්පතිගේ විශාල චන්ද්‍රයන් හතර දෙනා, සෙනසුරුගේ වළලු සහ හිරු ලප සොයාගෙන වසර 13 කට පසුව, 1623 ජූලි 16 වන දිනය. ඒ කලා 5 කින් පමණය. 2080 මාර්තු 15 වන දින ද අපට මෙවැනිම වූ කලා 6 ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *