2021 වසර පාර්ලිමේන්තුවේ ගරුත්වය සහ අභිමානය ආරක්ෂා කරන හරවත් වසරක් කරගමු – කථානායක

(කොළඹ, ලංකාපුවත්) –2021 වසර ආරම්භයේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ පවත්වනු ලබන වාද විවාද වලට හරවත් ලෙස සහභාගි වෙමින්, ව්‍යවස්ථාදායකයේ ගරුත්වය සහ අභිමානය නිරන්තරයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් රජය සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉල්ලා සිටියේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙලෙස 2021 වර්ෂය සම්බන්ධයෙන් සිය සුභාශිංසන එක් කළේ, නව වසරෙහි පාර්ලිමේන්තු කටයුතු අද ආරම්භ කරමිනි.

ලැබුවාවූ නව වසර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ්-19 වසංගතයෙන් මිදුණු, නිරෝගී, බාධක සහ කරදරවලින් තොර, සාමය හා සතුට පිරුණු එකක් වේවායි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රාර්ථනා කළේය.

මෙහිදී විශේෂයෙන්ම පසුගිය වසරේ දරුණු වසංගත තත්ත්වයක් මධ්‍යයේ පවා ව්‍යවස්ථාදායකය වැඩ කටයුතු පවත්වාගෙන යාමට සෞඛ්‍ය නීති- රීති අනුගමනය කරමින් සියලු මන්ත්‍රීවරුන් දැක්වු දායකත්වය කථානායකවරයා බෙහෙවින් අගය කළේය.

එළඹුණු නව වසර ආරම්භයේ සිටම පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ පවත්වනු ලැබීමට නියමිත වාද විවාද වලට හරවත් ලෙස සහභාගී වෙමින්, ව්‍යවස්ථාදායකයේ ගරුත්වය සහ අභිමානය නිරන්තරයෙන් ආරක්ෂා කිරීමට සිය නොමසුරු දායකත්වය ලබාදෙන ලෙස රජය සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිහිපත් ක‍‍‍‍‍ළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *