මැතිවරණ විහිළු නවතමු – ඇමති ඩලස් කඹුරුපිටිය නගර සංවර්ධන කමිටු රැස්වීමේදී කියයි

(කොළඹ, ලංකාපුවත්) –සමස්ත රටම කොවිඩ් 19 වසංගතය විසින් වෙලාගෙන සිටින තත්ත්වය යටතේ මේ වනවිට මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නොමැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

“ජනාධිපතිතුමා රටට පැහැදිළි පොරොන්දුවක් දීලා තිබෙනවා, කොට්ටාශ මත පදනම් වු සමානුපාතික නියෝජන ක්‍රමයේ සාදනීය ලක්ෂණ රැකෙන මැතිවරණ ක්‍රමයක් හදුන්වලා දෙනවා කියලා. අපේ රටේ ප්‍රධාන දේශපාලන ආයතන 04 ක් තිබෙනවා. විධායකය, පාර්ලිමේන්තුව, පළාත්සභා සහ පළාත් පාලන ආයතන වශයෙන්. විධායක ජනාධිපති ක්‍රමය සදහා ලෝකයේ සෑම රටකටම එකම ආකාරයක් තිබෙනවා. නමුත් ලංකාවේ අනෙක් ආයතන තුනේ තිබෙන්නේ එකිනෙකට වෙනස් ක්‍රම තුනක්. ලෝකයේ ලොකුම දේශපාලන විහිළුවකට හොඳම උදාහරණයක් තමයි මේක. රටේ වගේම ජනතාවගේ වුවමනාව රටේ සුළුතරය මෙන්ම සුලු මතවාද වලට ඇහුම්කන් දෙන කොට්ඨාශයටම වගකියන, මන්ත්‍රීවරයෙක්. කොවිඩ් කියන්නේ විශ්වීය මාරයෙක්. සමස්ත රටම කොවිඩ් උවදුරෙන් වෙලාගෙන සිටින මේ වගේ අවස්ථාවක මැතිවරණයක් වෙනුවෙන් සටන් පාඨ කියනවාට වඩා කොවිඩ් උවදුරෙන් ගැලවීමට මාර්ග සෙවීමයි වැදගත් වන්නේ. අපි කිසිසේත්ම මැතිවරණ කල් දාන්නේ නැහැ. පළාත්සභා පනතේ දුර්වලතා මත තමයි ප්‍රමාදයන් සිදුවී තිබෙන්නේ” යැයි පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඹුරුපිටිය නගර සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි. කඹුරුපිටිය නගර සංවර්ධනය පාදක කරගනිමින්, පාසල්, ගුරු ගැටළු, මංමාවත්, පොදු වෙළද සංකිර්ණ, ක්‍රීඩාභූමි, පුරන් කුඹුරු අස්වැද්දීම, වැව් ප්‍රථිසංස්කරණය, අනවසර ඉදිකිරීම් ආදි ගැටළු රාශියක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරෙනි.

මෙහිදී වැඩිදුරටත් ‍අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා,

කඹුරුපිටියෙ අපට තිබෙන ප්‍රධානතම අභියෝග වලින් එකක් තමයි නගර සංවර්ධනය. බාලගිරි දෝෂය වගේ වසර ගණනාවක් මේ වනවිට මෙම සංවර්ධන කටයුතු කල්ගොස් තිබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සදහාත් ප්‍රමුඛතාවය ලබාදිය යුතු වෙනවා. ඉදිරි මාස 04 ඇතුලත මෙතෙක් කලක් අතපසුවූ, අපට කිරීමට නොහැකිවූ කඹුරුපිටියේ සියලු සංවර්ධන ව්‍යාපෘති හදුනා ගනිමු, සැලසුම් කරමු, ඒවා ආරම්භ කරමු. ඒ වෙනුවෙන් ඔබ සැමගේ කැපවීම අත්‍යාවශ්‍යයි යැයි පැවසීය.

ඉදිරි මාස 03 ඇතුලත කොවිඩ් 19 සදහා වන එන්නත අපේ රට ලැබීමට නියමිත බවත්, මාර්තු මාසයට පෙර හෝ මාර්තු මාසය මුල් සතිය වනවිට අදාළ එන්නත අපේ රටට ලබාගත හැකි වන පරිදි අපේ අතිගරු ජනාධිපතිතුමන් මේ වනවිට කටයුතු කර තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා, දැනට දිනකට 500 ක් පමණ ආසාදියන් වාර්තා වන අතර රෝගයට බිය වී පළක් නොමැති බැවින් රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කළ යුතුබව පැවසීය. ඇමතිවරු මන්ත්‍රීවරු මුදල් වියදම් කර එන්නත් ලබාගෙන තිබෙන බවට පැතිර යන ප්‍රචාරයන් කිසිදු සත්‍යතාවයක් නොමැති බව මෙහිදී අමාත්‍යවරයා ඉතාමත් වගකීමෙන් පවසන ලදී.

මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට කඹුරුපිටිය දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය ආයතන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *