අත්තනගල්ල රජමහා විහාරයේ ඇති ගැටළු රාජ්‍ය ඇමති සොයා බලයි

(කොළඹ, ලංකාපුවත්) –ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙරට වැදගත් ඓතිහාසික සහ පෞරාණික බෞද්ධ පුදබිමක් ලෙස අත්තනගල්ල රජ මහා විහාරය හඳුනාගත හැකිය.

ක්‍රි. ව. 251-253 අතර සමයේ රජකම් කළ, සිරිසඟබෝ රජතුමා තම හිස දන්දුන් ස්ථානය ලෙස ද ප්‍රකට මෙම ස්ථානය, වංශ කථාවලට අනුව බෝධිසත්වවරයෙකු දාන පාරමිතාව සම්පූර්ණ කළ ස්ථානය ලෙසත් සැළකේ.

නමුත් අනුරාධපුර, හත්ථිකුච්චි විහාර පරිශ්‍රයෙන් සිරිසගබෝ කතා වස්තුවට අදාළ නිවැරදි සාධක බොහෝමයක් හමුවීම නිසා අත්තනගල්ල රජ මහා විහාරයේ ඉතිහාසය සම්බන්ධයෙන් මත දෙකක් පවතී.

අත්තනගල්ල විහාර වංශයට අනුව, උපතිස්ස රජ සමයේ විහාරවාසීව වැඩසිටි භික්ෂූන් වහන්සේ නමක් මෙම පූජනීය ස්ථානයේ භාවනා ප්‍රගුණ කිරීම මගින් අරහත් භාවයට පත්වූ බවට ද ප්‍රකට මතයක් පවතී.

ශ්‍රී ලංකාවේ අන්තර් තෙත් කලාපයේ පිහිටා ඇති පැරණිතම වටදාගෙය ලෙස ද අත්තනගල්ල වටදාගෙය හඳුන්වනු ලබයි.

අද වනවිට මෙම පෞරාණික විහාරයේ බිතු සිතුවම් විනාශ වීමට නොදී සංරක්ෂණය කිරීම, වටදාගෙයෙහි වහළය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීමේ කාර්යය කළ යුතුව තිබේ.

මේ පිළිබඳව අත්තනගල්ල රජ මහා විහාරයේ විහාරාධිපති හිමිවරුන්වන ආචාර්ය පන්විල ශ්‍රී ආනන්ද නාහිමියෝ සහ පින්නවල සෝමානන්ද හිමියෝ අවශ්‍ය අවවාද හා උපදෙස් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසට ලබා දුන්හ.

විහාරයේ පවතින ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ වරුසප්පෙරුම යන මහත්වරුන් සහ පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =