යුක්රේන රැල්ලක් ඇති නොවීමට රජය වග බලා ගත්තා – ඇමති ප්‍රසන්න

(කොළඹ, ලංකාපුවත්) –යුක්රේන සංචාරකයන් දිවයිනට පැමිණිමත් සමග යුක්රේන රැල්ලක් ඇති වේයැයි විපක්ෂය ජනතාව තුල බොරු බියක් ඇති කලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් යුක්රේන රැල්ලක් ඇති නොවීමට රජය වග බලා ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ නියමු ව්‍යාපෘතිය යටතේ මේ වන විට යුක්රේණ සංචාරකයන් 1200ක් පමණ දිවයිනට පැමිණ ඇතත් ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණක් කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගත් බවයි.

මොණරාගල ඊයේ (13) පැවති ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතියේදී හදුනාගත් ගැටළු හා අඩුපාඩු නිවැරදි කර ගනිමින් ජනවාරි 21 දින සිට සංචාරකයන්ට නිල වශයෙන් රට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බවයි. ලක්ෂ 30ක ජනතාව මේ වන විට සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා දැඩි පීඩාවට පත්ව ඇති බව පැවසූ ඇමතිවරයා අවධාරණය කළේ විපක්ෂය රට තුළ බොරු බියක් නිර්මාණය කිරීමට උත්සහ ගත්තේ සංචාරක ව්‍යාපාරය යථාතත්වයට පත් වීමෙන් මෙරට ආර්ථිකය යළි ගොඩනැංවේවියැයි ඇති වූ බිය නිසා බවද අවධාරණය කළේය. යුක්රේණ සංචාරකයන් මෙරටට පැමිණීම පිළිබඳ මතු කළ විරෝධය එක්කෝ දේශපාලන විරෝධයක් බවත් නැතිනම් නොදැනුවත්කම නිසා මතු කල එකක් බවත් ඇමතිවරයා කීවේය.

රන්ජන් රාමනායක මහතාට හිමි වූ සිර දඩුවම සම්බන්ධයෙන් විමසූ විට ඇමතිවරයා පෙන්වා දුන්නේ එය රන්ජන් කට නිසා කරගත් වරදක් බවයි.වත්මන් රජය කිසිදු දේශපාලන පලි ගැනීමක් සිදු නොකරන බවත් යහපාලනය මෙන් විරුද්ධවාදීන් සිරගත කොට සතුටු වීමේ පුරුද්දක් වත්මන් ආණ්ඩුවට නැති බවත් පැවසූ ඇමති වරයා රන්ජන් රාමනායක මහතාට දිට්ඨ – ධම්ම වේදනීය කර්මය පල දුන් බවද කිවේය. විධායකය , ව්‍යවස්ථාධායකය හා අධිකරණය යන තුනම පසුගිය රජය විසින් හෑල්ලුවට ලක් කල බවත් රන්ජන් රාමනායක එහි ඉත්තෙක් වූ බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පිල්ලෙයාන් එලියට ඒමේත් රන්ජන් ඇතුලට දැමීමෙත් කිසිදු සම්බන්ධයක් නැතැයි කීවේය.

“මහින්ද මහත්තයා පැරදුණු වෙලාවේ අරලියගහ මන්දිරයට ගිහින් රන්ජන් දාපු කඩු සෙල්ලම් අපිට මතකයි. බොරුව , වෛරය වපුරලා මහින්ද මහත්තයව , දරුවන්ව , මහින්ද හිතවාදින්ව හිර කරන්න යහපාලනය කටයුතු කලේ රන්ජන්ලා හරහා අධිකරණයට බලපෑම් කරමින්. මම ඒකයි කියන්නේ රන්ජන් වපුරපු අස්වැන්න තමයි නෙලා ගන්නේ. ඒකට ආණ්ඩුවට ඇගිල්ල දික් කරලා වැඩක් නෑ. ‍“ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වැඩි දුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *