රටින් එන අපේ අය නිරෝධායනයේදී ගිනි ගණන් ගන්න එපා – යුද හමුදාපති හෝටල් හිමියන්ට කියයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශීය රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමු කිරීමේදී අයථා ලෙස මුදල් ගැනීමට කිසිදු ඉඩක් නොතබන්නැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල් හිමියන්ට දැනුම් දී තිබේ.

කොවිඩ් -19 වයිරසයේ දෙවැනි රැල්ල පැතිර යෑමෙන් පසු මෙවැනි අයථා ක්‍රියා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව යුද හමුදාපතිවරයා පවසයි.

නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වසනීයව පවත්වාගෙන යෑමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනඟාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක් වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට සැපයීම තම අරමුණ බව යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. අයථා ක්‍රියාවක් සිදු වුව හොත් ඒ පිළිබඳ වහාම යුද හමුදාවේ අවධානයට යොමු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *