අගමැතිගේ උපදෙසින් C City වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් යළි ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ C City වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු විෂය භාර අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අද (18) නැවත ආරම්භ විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට සමඟාමීව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදු වේ.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ අක්කර 14 ක භූමී ප්‍රමාණයක මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණි.

එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු මුළුමනින්ම අතහැර දැමුවේය.
මෙම වෙළඳ සංකීර්ණය ඉදිකිරීමෙන් පසුව පාරිභෝගික ජනතාවට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම අමුද්‍රව්‍ය, භාණ්ඩ හා සේවාවන් එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකි වේ.

මීට සමඟාමීව අද දින වෙළඳ සංකීර්ණයේ නිල වෙබ් අඩවිය www.ccity.lk එළි දැක්වීම ද සිදු විය.
මෙහි ගිවිසුම්ගත වෙළඳසැල් කිහිපයක් නිල වශයෙන් එම වෙළඳසැල් හිමියන් ට ප්‍රදානය කිරීම ද අද දිනයේ සිදු විය.

ගෙවීම් ප්‍රමාද කරමින් තිබූ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවය අවසන් කළ සේවකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 233ක් වටිනා පාරිතෝෂිත මෙහිදී ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මිලාන් ජයතිලක, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපති භාග්‍ය ජයතිලක, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී. ටී. රාජසේකරන් මහත්වරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *