ශ්‍රීලංකන් කෙයාර්ස් මහරගම අපේක්ෂා රෝහල සහ සී.සී.සී. හෝම් සමඟ නත්තල් සතුට බෙදාගනී

(කොළඹ, ලංකාපුවත්) – උදා වූ නත්තල අර්ථවත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස්විසින් මහරගම සී.සී.සී. හෝම් හි ප්‍රතිකාර ලබන අය සඳහා සහ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සමගින් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

මහරගම සී.සී.සී. හෝම් යනු පිළිකා රෝගීන්ගේ නේවාසික නිවහනක් වන අතර ග්‍රාමීය නිවෙස්වල සිට මෙන්ම දුර බැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අය සඳහා නවාතැන් පහසුකම් සලසා දෙන නිවහනකි. මහරගම පිළිකා ආයතන පරිශ්‍රය තුළ පිහිටා ඇති මෙම නවාතැන මගින් රෝගීන්ට පහසුවෙන් ප්‍රතිකාර ලබා ගත හැකිය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම පරිත්‍යාග ලබාදුන් අතර ඔවුන්ට ලබාදුන් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු පාර්සල් වල කිරිපිටි , තේ කොළ, සමපෝෂ , රෙදි සෝදන කුඩු, දත් බුරුසු, දුඹුරු සීනි, මාරි බිස්කට්, බේබි ක්‍රීම්, බේබි සබන්, දන්තාලේපවැනි දෑ අඩංගු විය.මෙදින ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මෙම භාණ්ඩ අඩංගු ඇසුරුම් 343 ක් පරිත්‍යාග කරන ලදී.

ශ්‍රීලංකන් කෙයාර්ස් යනු ආරම්භයේ සිටම, ශ්‍රී ලංකාව පුරා දරු දැරියන් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නඟා සිටුවීම මෙන්ම ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩසටහන් රාශියක් සිදු කරන අංශයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *