C City ව්‍යාපෘතියේ ආදායම මාසික රු. මිලියන 300 දක්වා ඉහළ නැංවීම අරමුණයි

(කොළඹ, ලංකාපුවත්) –පෑලියගොඩ C City ව්‍යාපෘතියේ ආදායම මාසික රුපියල් මිලියන 300 දක්වා ඉහළ නැංවීම අපගේ එකම අරමුණ බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා පෑලියගොඩ C City වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම දැවැන්ත පියවරයක් ලෙස මා දකිනවා. මෙම ව්‍යාපෘතිය 2012 වර්ෂයේදී විමල් වීරවංශ ඇමැතිතුමා ආරම්භ කළා. ඒ මොහොතේදී එවකට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම ව්‍යාපෘතියේ වැදගත්කම කියා සිටියා. පෑලියගොඩ අසළම මත්ස්‍ය වෙළඳ පොළඳ හා මැනින් වෙළඳ පොළඳ තියෙනවා. එම නිසා මෙම ව්‍යාපෘතියත් මෙහි ස්ථාපිත කරන්න අපි තීරණය කළා. මේ ආයතන එකම ස්ථානයකට ගත් විට කොළඹ තදාසන්න ප්‍රදේශය මොන තරම් නිදහස් වනවාද කියා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් දුටුවා. කොළඹ තදාසන්න ප්‍රදේශයේ තිබෙන ජනාකීර්නත්වය නේවාසිකයින්ගේ පහසුව සැළසෙනවාද කියා එදා දුටුවා.

නමුත් 2015 පසු බලයට පත් වූ යහපාලන රජයේ හිටපු ඉදිකිරීම් ඇමැතිවරයාට අමාත්‍යාංශය භාරගෙන එහි වැඩ කටයුතු හරියාකාරව කරන්නට ඇල්පෙනෙත්තක වුවමනාවක් තිබුණේ නැහැ. අද නාගරික නිවාස අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපට නව සංකල්ප ගෙනවිත් තිබෙනවා. ‘ඔබට ගෙයක්’ නිවාස වැඩසටහන ගැන අපට පැවැසුවේ එතුමයි. පසුගිය නිවාස ඇමැතිවරයා කොපමණ නිවාස ඉදිකළත්, අපේ කාලයේ කොපමණ නිවාස ඉදිකළත්, මෙරට පැල්පත් නිවාස තියෙන්නේ ඇයිදැයි කියා අගමැතිතුමා විමසුවා. ඒ වෙනුවෙන් ඔබට ගෙයක් ව්‍යාපෘතිය ආරම්භ කරන්න කියලා එතුමා අපට යෝජනා කළා. මෙම නිවාස වැඩසටහන ආරම්භ කළේ ඒ යෝජනාවට අනුවයි. මෙරට පැල්පත් වාසීන්ට නිවාස 10,000 කට වැඩි ප්‍රමාණයක් අද ලබා දී තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කඩිනමින් අපට ලබා දුන්නා. ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් නිතරම විමසා සිටියේ පැල්පත්වාසීන් ගැන අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් සිටින පැල්පත්වාසීන් ගැන අවධානය යොමු කර භාණ්ඩාගාරයෙන් අනෙකුත් ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කරනවාට වඩා වේගයෙන් මේ ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කරන්න කටයුතු කළා. මෙම ව්‍යාපෘතිය මුළු දිවයින පුරා ක්‍රියාත්මකයි.
පෑලියගොඩ C City ව්‍යාපෘතියේ වටිනාකම පසුගිය රජය නොදැක්කාට වත්මන් රජය බලයට පැමිණි වහාම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නට කටයුතු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අපට නිතරම කියා සිටියේ කිසි දිනක මුල්ගල් පැළවෙන්නට ඉඩ හරින්නට ඉඩ නොතබන ලෙසයි. ආරම්භ කළ සියළු වැඩ අතරමග නවත්වන්නට එපා කඩිනමින් එම ව්‍යාපෘති 100% ක් අවසන් කර ජනතාවට ලබා දෙන්න කියා අපට උපදෙස් ලබා දුන්නා.

2005 සිට 2015 දක්වා වූ කාලය එසේ කටයුතු කළ කාලයක්. එම නිසයි මේ ව්‍යාපෘතිය සඳහා යෝෂිත රාජපක්ෂ මහතාව සම්බන්ධ කර ගත්තේ. අපට තිබෙන කාලය තුළ කොපමණ වේගයෙන් සංවර්ධනය කටයුතු කළ යුතුද යන්න එතුමන්ලා දකිනවා. 2015 පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය සමයේ තමන්ගේ සහෝදරයින් තමන්ගේ දරුවන්ව තමන්ගේ හිතවත් අයව එකතු කර ගනිමින් මේ රට ගොඩනගන්නට මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය වුණා. ඒ උවමනාව නිසා තමයි හැමදෙයක්ම කඩිනමින් වේගයෙන් ගොඩ නැගුනේ. ඊට පසුව යහපාලන රජය සමයේ සිදු වුයේ පළිගැනීමයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට මොනතරම් අවලාද අපහාස කළාද, යෝෂිත රාජපක්ෂ මහතාව මොනතරම් උසාවි ගානේ රස්තියාදු කළාද, හිර ගෙවල් ගානේ ගෙන ගියාද. පවුලේ සියලුම දෙනාගෙන් පළි ගත්තා. පසුගිය රජය පළි ගන්නට පොලිසි, උසාවි හැදුවා. ඒ සඳහාම ව්‍යවස්ථාවකුත් නිර්මාණය කර ගත්තා. අද අපි ඔය දේවල් කරන්නේ නැහැ. සමහර වෙලාවට අපගේ සමත් අසමත් භාවය ගැන ඔවුන් කතා කරනවා. පළි ගැනීම් සහ එවැනි කටයුතු වලින් අප අසමත්. නමුත් අනෙකුත් සෑම කටයුත්තකින්ම අපි සමත්.

අද කිලෝමීටර් ලක්ෂ ගණනක් මාර්ග කාපට් වෙනවා. ගම්දනව්වල විශාල ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා. නිවාස දස දහස් ගණනක් ඉදිවනවා. කෘෂි කර්මාන්තය, කර්මාන්ත ක්ෂේත්‍රය වේගයෙන් දියුණු වෙමින් යනවා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මීට පෙර කවදාවත්ම නොලැබුණ ව්‍යාපෘති රැසක් සිදු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. එදා ඉංජිනේරු සංස්ථාවට ලබා දුන්නේ සංස්කෘතික අරමුදලින් ලබා ගත් මුදල්. දහයක් ගත්තොත් සියයක වැඩ කරන්න කිව්වා. නිලධාරීන්ව තෙහෙට්ටුවට පීඩනයට ලක්කළා. ඔවුන්ට බලපෑම් කළා. ඔවුන් එම කටයුත්ත සිදු නොකලා නම් දුෂ්කර ප්‍රදේශවලට ස්ථාන මාරු කරනවා. සේවයකයින්ටත් සැළකුවේ එලෙසමයි. නමුත් වත්මන් රජය එම නිලධාරින් සමඟ වැඩකරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නිලධාරින්ටද අප අවස්ථාව දී තිබෙනවා. එම නිලධාරීන්ට බලපෑම් නොකර සහෝදරත්වයෙන් කටයුතු කරනවා. දැන් අපේ වැඩේ හරි දැන් ෂේප් ඒ හින්දා වැඩ කරගෙන යන්න පුළුවන් කියා ඇතැම් නිලධාරීන් හිතනවා. ඒ නිලධාරීන් බලනවා නැවත ඒ තැනට යන්න. අපි සියලු දෙනා මේ රටට ණය ගැති මිනිස්සු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමැතිවරයෙක් ලෙස මමද ජනතාවගේ බදු සල්ලි වලින් ජීවත් වන්නේ. මෙරටේ සියලුම ජනතාවගේ බඳු සල්ලි වලින් තමයි අපි ජීවත් වන්නේ. එසේනම් අපි රජයට රටට මුලින්ම වගකියන්න අවශ්‍යයි. රජය ආරම්භ කරන ව්‍යාපෘති වලට අප වගකියන්න ඕනේ. දේශියත්වය ගොඩනගලා වැඩකටයුතු කරන්නේ ඒ නිසයි.

අද නැවත ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් මිලියන 150 ක් 200 ක් වැනි මුදලක් මාසිකව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ආදායමක් ලෙස උපයා ගන්න පුළුවන්. එම ආදායම මිලියන 300 දක්වා ගෙන යාමයි අපගේ අරමුණ. ඒ සඳහා තවත් කඩ සාප්පු 300 ක් ඉදිකර කඩ සාප්පු 700 දක්වා වැඩිකර එහි ආදායම වැඩි කිරීමට සැළසුම් කර තිබෙනවා.

අපි සති දෙක තුනකට කලින් පැමිණ මේ ව්‍යාපෘතිය බැලුවා. ‘මේ ව්‍යාපෘතිය පල් වෙන්න දෙන්න බැහැ. අත ගගා ඉන්නේ නැතිව සිටින සේවකයන් සියලු දෙනා යොදවා මෙය කඩිනමින් අවසන් කර ජනතාවට භාර දිය යුතුයි නැතිනම් අපටත් ලැජ්ජාවක්’ යැයි එදා යෝෂිත රාජපක්ෂ මහතා කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා අත ගැසූ කිසම කාර්යයක් අතරමඟ දාමා ගොස් නැහැ. ගෝඪාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් භාර ගත් කිසිදු වගකීමක් කිසිම තැනක අතහැර දමා ගොස් නැහැ. අද මේ රට කරන්නේ ශක්තිමත් නායකයින් දෙපළක්. එතුමන්ලාට ඕනිම බලවේගයකට මුහුණ දෙන්න පුළුවන්. ලෝකයේ සිටි දරුණුම ත්‍රස්තවාදියාට බය නැතුව මුහුණු දුන්න නායකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා අපට වගකීම් පවරා තිබෙනවා. නොබියව අභියෝග භාර ගන්න කියා අපට කියා තිබෙනවා. අභියෝග භාර ගැනීම තුළ අපට මේ දේවල් යථාර්ථයක් බවට පත් කර ගත හැකියි.

ඔන්න අපේ වැඩක් පටන්ගෙන තියෙන්නේ කියලා විරුද්ධවාදීන් හෙට ඉදන් කියයිද දන්නේ නැහැ. දැන් කලාව ඒකයි. දැන් අපි විවෘත කරන ඒවාට ඔන්න අපේ වැඩක් තමයි විවෘත කරේ කියලා කියනවා. මැනින් වෙළද පොළ අපි 2013 දී ආරම්භ කළ ව්‍යාපෘතියක්. මත්ස්‍ය වෙළඳ පොළත් 2010 – 2012 කාලයේදී ආරම්භ කළ ව්‍යාපෘතියක්. අද ජනතාව භුක්ති විදින අධිවේගි මාර්ගයේ සිට මෙරට දැවැන්ත ව්‍යාපෘති සියල්ලගේම ඡන්මය දී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමයි.”යනුවෙන්ද පැවැසීය.

අතිගරු ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාගේ අධික්ෂණය මත, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

2012.11.26 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අක්කර 14 ක භූමී ප්‍රමාණයක මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද පසුගිය යහපාලන රජය සමයේදී මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු නවතා දැමුවේය.
C City වෙළඳ සංකීර්ණයමඟින් ඉදිකිරීමෙන් පසුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම අමුද්‍රව්‍ය, භාණ්ඩ හා සේවාවන් එකම වහලක් යටින් ජනතාවට ලබා ගැනීමට හැකිවනු ඇති.

මෙහි වැඩ ආරම්භ කිරීමේ උත්සවයට සමගාමීව මෙම වෙළඳ සංකීර්ණයේ නිල වෙබ් අඩවිය වන www.ccity.lk වෙබ් අඩවිය එළි දැක්වීමද අද සිදු කළ අතර පසුව මෙහි වෙළඳසැල් කිහිපයක් නිල වශයෙන් ගිවිසුම්ගතවී වෙළඳසැල් හිමියන් කිහිප දෙනෙකුට හිමිකම් පත්‍ර ප්‍රදානය කරන ලදි.

මෙම උත්සවයේදී ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවය අවසන් කළ සේවකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 233 ක ඔවුන්ට හිමි පාරිතෝෂිත දිමනා ලබා දීමද සිදු විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, දේශිය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, පෑලියගොඩ නගර සභාවේ නගරාධිපති කේ.ඩී. ආනන්ද, නිවාස රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන,ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *