රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට

(කොළඹ, ලංකාපුවත්) –2021 වර්ෂයේ දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා නැවත පිටත්වන ශ්‍රමිකයින් 22නෙකු ගෙන් යුත් පළමු කණ්ඩායම KE 9474 දරණ විශේෂ වාර (Charter Flight) ගුවන් යානයක් මගින් අද (21) අලුයම දකුණු කොරියාව බලා පිටත්වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

මෙම ශ්‍රමික පිරිස කොරියාව බලා පිටත්ව ගියේ පැය 48කට පෙර PCR පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුවය. දකුණු කොරියාවේ දී දින 14ක නිරෝධායන කාලයකින් පසුව මෙම ශ්‍රමික පිරිස සේවා ස්ථාන වෙත යොමු කිරීමට දකුණු කොරියානු බලධාරීන් කටයුතු කිරීමට නියමිතය.

දකුණු කොරියාවට ඇතුළු වන සියළුම විදේශිය ශ්‍රමිකයින් විසින් තම ජංගම දුරකථනයට එරට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති ජංගම දුරකථන යෙදවුම (Mobile App) ස්ථාපනය කර ගත යුතු අතර තම නිරෝධායන කාලසීමාව තුල එහි තමන්ගේ විස්තරයන් යාවත්කාලීන කිරීම අනිවාර්යය වේ.

Covid-19 ගෝලීය වසංගතය වැළැක්වීම සඳහා කොරියානු ජනරජය විසින් ගෙන ඇති පියවරයන්ට අනුව, E9 වීසා යටතේ සේවය කරන විදේශීය ශ්‍රමිකයින් 2021 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි වලංගු PCR පරීක්ෂණ වාර්තාවක් කොරියාවට පිවිසීමේදී අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය. PCR පරීක්ෂණ වාර්තාව, කොරියාවට පිටත්වීමට පෙර පැය 72 ක් තුළ ගත යුතු අතර, PCR පරීක්ෂණ වාර්තාව නොමැති විදේශ සේවකයින් කොරියානු රජය මගින් පිටුවහල් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *