පලාගල මහහුරුල්ලෑව පුරාවස්තු ඩෝසර් කිරීම සොයා බැලීමට රාජ්‍ය ඇමති යයි

(කොළඹ, ලංකාපුවත්) –අනුරාධපුර,පලාගල මහ හුරුල්ලෑවේ වනජීවි කලාපයක පිහිටි පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත භූමිය පසුගිය දිනය නිධන් සොරුන් විසින් සහ වෙනත් පාර්ශවයන් මඟින් ඩෝසර් කර විනාශ කිරීම පිළිබඳව සොයා බැලිම සඳහා ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුලු නිලධාරිහු පිරිසක් එම ස්ථානය වෙත ගියේ ය.

මෙම භූමියෙහි මැනුම් කටයුතු කඩිනමින් සිදු කර පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කිරීමට කඩිනම් පියවර ගන්නැයි මේ පිළිබඳව සොයා බැලීමට එහි පැමිණි විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

එසේම මෙම විනාශය සිදු කළ සැකකරුවන් සොයා කඩිනමින් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා පොලිසියට උපදෙස් ලබා දුන්නේය.

පුරාණ ආරාමයක සහ ඒ ආශ්‍රිතව නටඹුන් රැසක් පිහිටා ඇති මෙම පෞරාණික භූමිය අනුරාධපුර යුගයට අයත් බවත්,මෙම භූමිය පුරා විසිරී ඇති උළු හා ගඩොල් කැටවලින් එය තහවුරු වන බවත් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කරයි.

එසේම මෙම ඓතිහාසික භූමිය හැඳින්වූ නාමය පිළිබඳව ද මෙතෙක් සොයාගෙන නොමැති බවත් සිදුකර ඇති විනාශය නොදැනුවත්කමින් නොව සිතාමතා කළ ක්‍රියාවක් බවත් පුරාවිද්‍යා කොමසාරිස්වරයා පවසයි.

පසුගිය දිනය නිධන් සොරුන් විසින් සහ වෙනත් පාර්ශවයන් මඟින් මෙම පෞරාණික භූමිය ඩෝසර් කර තිබෙන අතර ඒ මඟින් සිදු වී ඇති විනාශය යළි යථා තත්ත්වයට ගැනීමට නොහැකි බව පුරාවිද්‍යා නිලධාරීහු සඳහන් කරති.
එසේම මෙම ඓතිහාසික භූමිය හැඳින්වූ නාමය පිළිබඳව ද මෙතෙක් සොයාගෙන නොමැති බවත් සිදුකර ඇති විනාශය නොදැනුවත්කමින් නොව සිතාමතා කළ ක්‍රියාවක් බවත් පුරාවිද්‍යා කොමසාරිස්වරයා පවසයි.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග,වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ, යන මහත්වරුන් සහ පුරාවිද්‍යා නිලධාරීහු පිරිසක් ද මේ පිළිබඳව සොයා බැලීමට පැමිණියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − fourteen =