පාපන්දු ක්‍රීඩාව නංවාලීමට FOOTBALL FRIDAY

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෙටි කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලක් ඔස්සේ මෙරට පාපන්දු ක්‍රීඩකයන් ප්‍රමාණය මිලියන 02 ක් දක්වා වැඩි කිරීම තම අපේක්ෂාව බවද අමත්‍යවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.

ඉදිරියේදී සෑම සතියකම සිකුරාදා දිනය Football Friday නමින් නම් කර පාපන්දු ක්‍රීඩා ජයග්‍රහණ කරා රැගෙන යාමට කටයුතු කරන බවද කීය.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර 05 තුළ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විශාල පසු බෑමකට ලක් වී ඇති බවයි. ක්‍රිකට් ආයතනයට කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැරණි ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා මේ වන විටත් කෙටුම්පත් සකස් වෙමින් පවතින බවත් පැහැදිළි කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තාක්ෂණි කමිටුවක් පසුගියදා ආරම්භ කළ බව පැහැදිළ කළ අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිර්මාණය කිරීමට වසර 05ක් පමණ ගත වන බවත් ඒසඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙමින් ඇති බවද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *