ෆොන්ටෙරා සමාගම කුඩා පරිමාණ කිරි ගොවිපොළ වල ඵලදායීතාව නැංවීම සඳහා ඉහළ පෝෂණයෙන් යුත් ඛනිජලවණ ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කුඩා පරිමාණ කිරි ගොවීන්ට තම කිරි ගවයින්ගේ සෞඛ්‍යය සහ ලැබෙන කිරි අස්වැන්න වැඩි කරගැනීමට උපකාරී වීමේ අරමුණින්,ඉහළ පෝෂණයෙන් යුත් ඛනිජ ලවණඅඛණ්ඩව ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පියවර ගෙන තිබේ.

“වයඹ, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් වල වෙසෙන අපගේ කිරි ගොවීන්ට ප්‍රථම වතාවට මේ ආකාරයට මෙරටදීම නිපදවූ,උසස් පෝෂණයෙන් යුත් ඛනිජ ලවණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමට හැකිවීම අපට විශාල සතුටක්. මෙය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණු වලට සමගාමී පියවරක් ලෙස හැඳින්විය හැකියි.” ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධ ද්වීපයසඳහා කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය පැවසුවා ය.

උසස් තත්ත්වයේ සත්ත්ව ආහාර සොයාගැනීම දුෂ්කර වීම මෙරට කිරි ගොවීන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. ඛනිජමය පරිපූරක ආහාර මගින් කිරිදෙනුන්ගේ සෞඛ්‍යය හා වර්ධන අනුපාතය වැඩි වීම සහ ගොවිපළ තුළ සත්ත්ව ආහාර භාවිතාවේ කාර්යක්ෂමතාව වැඩි වීම මෙන්ම ප්‍රතිශක්තිකරණය ඉහළ යාම තුළින් කිරි ගවයින් රෝග වලින් ආරක්ෂා වීම වැනි ප්‍රතිලාභ රැසක් අත්වන නිසා ඒවා පශු සම්පත් සංවර්ධන වැඩසටහන් වලදී වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සමග අත්වැල් බැඳගෙන සිටින කුඩා පරිමාණ කිරිගොවීන් සපයන කිරි, ඇන්කර් සහ නිව්ඩේල් සන්නාමයන් යටතේ වෙළඳපොළට නිකුත් කරන සෙට් යෝගට්, ස්ටර්ඩ් යෝගට්, පානීය යෝගට්, නැවුම් කිරි,UHT කිරි සහ රසකළ කිරි වැනි නිෂ්පාදන සඳහා භාවිතා කෙරේ. මේවා නිපදවනු ලබන්නේ බියගම පිහිටි ෆොන්ටෙරා දේශීය කිරි සැකසුම් කර්මාන්තශාලාවේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *