බෞද්ධ දර්ශනය සහ වටිනාකම් ගොඩනැගීමෙහිලා එහි කාර්යභාරය පිළිබඳ තෙදින ජාත්‍යන්තර සමුළුව

(කොළඹ, ලංකාපුවත්) –‘බෞද්ධ දර්ශනය සහ තරුණ ප්‍රජාව අතර වටිනාකම් ගොඩනැගීමෙහිලා එහි කාර්යභාරය’ පිළිබඳ තෙදින සමුළුවක් සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලය (ICCR) සහ තරුණ සංවර්ධනය පිළිබඳ රජීව් ගාන්ධි ජාතික ආයතනය විසින් 2021 පෙබරවාරි 17-19 දක්වා අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබිණ. 2021 පෙබරවාරි 17 වන දින තරුණ කටයුතු සහ ක්‍රීඩා, සුළු කටයුතු සහ ආයුර්වේද, යෝගා සහ ස්වභාවික වෙදකම, යුනානි, සිද්ධ සහ හෝමියෝපති (AYUSH) පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශ්‍රී කිරන් රිජිජු මහතා විසින් සමුළුව සමාරම්භ කළේය.

බෞද්ධ දර්ශනයේ මූලික හරයන් සහ එම සංස්කෘතිය පිළිබඳ දැනුම බෙදා දීම සහ සදාචාරාත්මක වටිනාකම් විචිත්‍රවත් ඉන්දීය සංස්කෘතියේ සහ ලොව අන් රටවල තාරුණ්‍යයේ මූලිකාංගයක් ලෙස ස්ථාපිත කිරීමෙහිලා බොදු සංස්කෘතියේ දායකත්වය සාකච්ඡා කිරීම මෙම සමුළුවේ අරමුණ විය. කටයුතු සම්පත් දායකයන් සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක තරුණ තරුණියන් රැසක් මේ සඳහා සහභාගී විය.

සිය සමාරම්භක දේශනයේදී ගරු අමාත්‍යතුමා, 2030 වසර වන විට ඉන්දියාව ලොව තරුණම ජාතීන් අතරට එක් වනු ඇති බව සඳහන් කළේය. ජාතික සහ සර්ව කාලීන වටිනාකම් තාරුණ්‍යය තුළ ස්ථාපිත කිරීම තරුණ සංවර්ධනයෙහිලා ඉන්දියාවේ ප්‍රමුඛතාවයක් බවත් එතුමා ප්‍රකාශ කළේය. බුදු දහමේ ඉගැන්වෙන ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍යය, පංච ශීලය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන කරුණු පිළිබඳව සඳහන් කළ එතුමා එය ලෝක සාමය, ස්වභාවික සම්පත් සාධාරණ ලෙස පරිහරණය කිරීම සහ පරිසරය මනා ලෙස සුරැකීම සඳහා හොඳම මාර්ගය වන බව අවධාරණය කළේය. ICCR හි අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමාරම්භක සැසිය ඇමතන ලදී.

සමාරම්භක සැසියෙන් අනතුරුව අනෙකුත් සම්භාවනීය ආරාධිතයන් විසින් දේශන පවත්වන ලදී. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ පූජ්‍ය ගතාරේ චන්දානන්ද හිමි ‘ධනාත්මක මානසික සෞඛ්‍යයෙහිලා බෞද්ධ දර්ශනයේ භූමිකාව’ යන මැයෙන් දේශනයක් පැවැත්වීය. එම හිමියන් විශිෂ්ට අධ්‍යාපනඥයකු වන අතර එම විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතකු වේ. කාලීන මාතෘකාවක් සම්බන්ධයෙන් උන්වහන්සේ පැවැත්වූ එම දේශනය සහභාගීවූ සැමගේ ප්‍රශංසාවට ලක් විය.

සමුළුවේ දෙවන සහ තෙවන දිනයන්හි දි ප්‍රමුඛ පෙළේ විද්වතුන් විසින් බුදු දහම හා සම්බන්ධ විවිධ මාතෘකා යටතේ දේශන පවත්වන ලදී. කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය රාජිත පී. කුමාර මහතා ‘වින්තනමය සංවර්ධනය සහ පුද්ගලයා මත එහි බලපෑම පිළිබඳ මුල්කාලීන බෞද්ධ න්‍යාය’ යන මැයෙන් ද පූජ්‍ය පුස්සැල්ලේ විනීත හිමි ‘ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය අතර බෞද්ධ දර්ශනයේ බලපෑම’ යන මැයෙන්ද දේශනා පවත්වන ලදී.

පොදු බෞද්ධ උරුමය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත්ම සහ වඩාත් ස්ථිරසාර බැඳීමක් වේ. අප දෙරට ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ බැඳීම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ලබා දෙන බව 2020 සැප්තැම්බර් මස අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුවේදී අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රකාශ කළේ ය. එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *