වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා රටට කළ සේවය අමිලයි, විශිෂ්ටයි, ශ්‍රේෂ්ඨයි – ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා අමිල,විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ සේවයක් රටට කළ බව බම්බලපිටිය ශ්‍රී වජිරාමාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ධූරන්දර, අග්ග මහා පණ්ඩිත, අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිපාණෝ පවසති.

වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ නොකැළැල් චරිතයක් බවත් නවක දේශපාලඥයන්ට එතුමාගේ චරිතයෙන් බොහෝ දේ ලබාගත හැකි බව නාහිමිපාණෝ පෙන්වා දුන්හ.

දිවංගත හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ උත්සව ශාලාවේ දී ඊයේ (22) පවත්වනු ලැබු විශේෂ ධර්ම දේශනාමය පිංකමේදී උන්වහන්සේ මේ බව පැවසුහ.
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පිංකමට වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ පවුලේ සමීපතමයින්, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය එක් විය.

සිය ධර්ම දේශනවේදී අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිපාණෝ මෙසේද පැවසූහ.

“වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්,එතුමාගේ රාජ්‍ය තාන්ත්‍රිකබව නවක මන්ත්‍රිවරයන්ට ආදර්ශයක්, හෙළ හවුල තුළ ක්‍රියාකාරි වෙමින් බස පෝෂණය කිරීමටද එතුමා කටයුතු කළා, ඒ වගේම ලොකුබණ්ඩාර මහතා හොඳ ශාස්ත්‍රීය විචාරකයෙක්, සාහිත්‍ය ගීතය තුල තිබු රසය එතුමා හොඳින් වටහා ගෙන තිබුණා.

කුමාරතුංගයන්ගේ දර්ශනය මනාව උකහා ගැනීමට එතුමා කටයුතු කළා, හෙළ බසට එතුමාගෙන් සිදු වූ සේවය අපරමිතයි. වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා අපක්ෂපාති චරිතයක්, පක්ෂ විපක්ෂ සියලු දෙනාට එතුමා එක සේ සැලකුවා. මහා සංඝරත්නය සමඟද එතුමා සමීපව කටයුතු කළා. භාෂාව විකෘති නම් අපට ඇතිවන චින්තනයද විකෘතියි. ජාතික සමඟිය ඇති කිරීමට භාෂාවට හැකි බව එතුමා තදින් විශ්වාස කළා.

ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ පුළුල් දැක්මක් එතුමා සතු වුණා. එමෙන්ම ජාතික ප්‍රශ්නය විසඳීමේදී අප ධර්මානුකූලව කටයුතු කළ යුතුයි. දස රාජධර්ම සහ සප්ත අපරිහාණි ධර්ම පිළිබඳව පාලකයන් අවබෝධ කරගත යුතුයි. මේ රට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ධර්මතාන්ත්‍රික ජනරජයක් බවට පත් කිරීමට සියල්ලන්ම කටයුතු කළ යුතු වනවා”

ධර්මදේශනයට පෙරාතුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහසේගේ ශාඛාව ඉදිරිපිට දී වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ පවුලේ සමීපතමයින්, කථානායකවරයා, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය එක්ව එතුමාට පිංපැමිණවීමේ කටයුත්තක් ද සිදු කෙරිණ.

පාර්ලිමේන්තුවේ බෞද්ධ සංගමය සහ පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය එක්ව මෙම පිංකම සංවිධාන කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *