46වන ජගත් මානව හිමිකම් සමුළුව වීඩියෝ තාක්ෂණයෙන් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ජගත් සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද(23) ආරම්භ විය.

අද ආරම්භ වුණු සැසිවාරය ලබන මස 23 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර සැසිවාරයේදී බ්‍රිතාන්‍ය හා කැනඩාව ප්‍රමුඛ රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට විරුද්ධව විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය පැවැත්වෙන්නේ වීඩියෝ තාක්‍ෂණය හරහාය. ඒ ආකාරයෙන් විඩියෝ තාක්‍ෂණය හරහා මානව හිමිකම් කවුන්සිලය රැස්වන්නේ ඉතිහාසයේ පළමු වරටය.

මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 වසරේදී යෝජනාව ගෙන ආ රටවල් අතුරින් බ්‍රිතාන්‍යය , කැනඩාව, මොන්ටිනීග්‍රෝ , උතුරු මැසිඩෝනියාව හා මලාවි යන රටවල් එක්ව මෙවර ද ශ්‍රී ලංකාවට විරුද්ධව විශේෂ යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම හා වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාවක් මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචිලේ අනිද්දා දිනයේදී කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.

එම වාර්තාව සම්බන්ධයෙන් ලිඛිත විරෝධය විදේශ කටයුතු අමාත්‍යාංශය මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අනිද්දා දිනයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *