මෙරට ක්‍රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පාකිස්තානයේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් විසින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත දිවා භෝජන සංග්‍රහයක් ඊයේ (24) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සංවිධානය කරනු ලැබීය.

පාකිස්තාන අගමැති පාකිස්තාන් අග්‍රාමාත්‍යවරයා සමග දෙදින නිල සංචාරය සදහා මෙරටට පැමිණි ප්‍රභූවරුන් ද සහභාගී වූ මෙම දිවා භෝජන සංග්‍රහයට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්, මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිරිසක්ද විශේෂයෙන් එක් විය. පාකිස්තාන අගමැතිතුමා සමග සමකාලීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙක්ද සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාකිස්තාන අගමැතිවරයා වෙත යෝජිත ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය (කිරිමණ්ඩල මාවතේ ගොඩනැගීමට නියමිත) පිළිබද අවධානය යොමු කළ අතර, ඊට අමතරව ක්‍රීඩා දත්ත විශ්ලේෂක කේන්ද්‍රය සහ ක්‍රීඩා විද්‍යා පර්යේෂණාගාරය පිළිබදව දැනුවත් කිරීම ද සිදු කරනු ලැබීය. මේ තුලින් කලාපීය ක්‍රීඩකයින්ගේ උසස් දක්ෂතා ගොඩ නැගීම පිළිබදව අදහස් දැක්වූ අමාත්‍යවරයා එහි සාර්ථකත්වයේ වැදගත්කම අවධාරණය කළේය.

පෙබරවාරි 23 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවේදී ක්‍රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහා පාකිස්තානු රුපියල් මිලියන 52 ක මුදලක් ලබා දීමටත්, ඉදිරියේදී වැඩි වශයෙන් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් සහතික විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *