වේල්ල විදියෙන් හමුවූ කාන්තා මළ සිරුර හඳුනා ගනී

(කොළඹ, ලංකාපුවත්) –වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හෙළිව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත.

පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද නිරීක්ෂණය වී තිබේ.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කළේය.

එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත් මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සැක පළකර සිටියි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාද සිද්ධියෙන් පසු සියදිවි හානිකර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම මළ සිරුර ආසන්නයේ තිබී වස කුප්පියක් ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *