රට හදන්න කෝටි 71,000ක ව්‍යාපෘති

(කොළඹ, ලංකාපුවත්) –2020 වසරේ දී රුපියල් කෝටි 71,000ක (රුපියල් බිලියන 710) සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව එම වසරේදී ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි 100 ඉක්ම වූ සංවර්ධන ව්‍යාපෘති පමණක් 289ක් පමණ රේඛීය අමාත්‍යාංශ 40ක් යටතේ ක්‍රියාත්මක කර තිබෙන අතර ඒවායේ මූල්‍ය ප්‍රගතිය සියයට 72ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පසුගිය 2018 වසරේ අප්‍රේල් මස 25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි රේඛීය අමාත්‍යාංශ විසින් මූලධන අය-වැය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි භෞතික ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශය විසින් කාර්තුමය පදනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව 2020 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද මහා පරිමාණ ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගති වාර්තාව මුදල් ඇමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එම වාර්තාව මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා ඉදිරිපත් කර තිබේ.

2020 වර්ෂය තුළ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි 100 (බිලියනය) ඉක්මවන සංවර්ධන ව්‍යාපෘති 289ක් රේඛීය අමාත්‍යාංශ 40ක් යට‍තේ ක්‍රියාත්මක කර තිබෙන අතර එම ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 71,000ක (බිලියන 710ක) පමණ ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ඒවායේ මූල්‍ය ප්‍රගතිය සියයට 72ක් බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එම සංවර්ධන ව්‍යාපෘති 289හි ඉදිරි වැඩසටහන් සඳහා දළ වශයෙන් තවත් රුපියල් ට්‍රිලියන 2.9ක් වෙන් කළ යුතු බව පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශය එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලු හා අවහිරතා පැන නැඟී ඇති බවද ව්‍යාපෘති සඳහා වෙන් වූ අතිරේක කාර්යමණ්ඩල වෙනුවෙන් රුපියල් බිලියන 08ක් පමණ වැය කර ඇති නමුත්, ඇතැම් ව්‍යාපෘතිවලට අදාළව අනුමත පිරිවැය හා කාලසීමා තුළ අපේක්ෂිත ප්‍රතිඵල ගැනීමට නොහැකි වී ඇති බවට එම වාර්තාව මඟින් නිරීක්ෂණය කර ඇති බවද සඳහන් කරයි.

ඇතැම් ව්‍යාපෘතිවලට අදාළව පූර්ව සූදානම් කිරීමේ අවධියේ සිටම යම් යම් දුර්වලතා නිරීක්ෂණය වන අතර, රාජ්‍ය ආයතන වෙතින් අවශ්‍ය අනුමැතීන් ගැනීමේදී වන ප්‍රමාදය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් විට ගැටලුවක් බවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *