සමෘද්ධිලාභීන්ට නොමිලේ විදුලි සබඳතා ලබාදීම 06වනදා ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – සෞභාග්‍යයේ දේශයක් කරා රට යන ගමන්මග විදුලියෙන් බලගන්වමින්, මෙතෙක් විදුලිය පහසුකම් නොලැබ සිටින අඩුආදායම්ලාභී සහ සමෘද්ධිලාභීන් වෙත නොමිලයේ විදුලි සබඳතා ලබාදීමේ පළමු අදියර මේ මස 06 දා ගිරිබාවෙන් ඇරඹීමට සියලු කටයුතු සූදානම් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පසුගියදා(02) විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී, සමෘද්ධි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග පැවති සැමට විදුලිය ලබාදීම සදහාවන ලබාදීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත්කීමේ මූලිකම පියවරක් වශයෙන්, මෙරට තුල විදුලිය නොමැති සියලු නිවාස හදුනාගමින් අදාළ නිවාසයන් වෙත මේ වසර අවසන් වීමට ප්‍රථම විදුලිය ලබාදීමට කඩිනම් පියවර ගතයුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදි පැවසීය. දීපව්‍යාප්තව විසිරී සිටින මෙතෙක් විදුලිය පහසුකම් නොලැබ සිටින අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභීන් හදුනාගනිමින්, ඹවුන්ගේ නිවෙස්වල සිට ප්‍රධාන ජාලයට ඇති දුර, නිවාසයේ ඉදිකිරීම් තත්ත්වය ආදි විස්තර ඇතුළත් වාර්තාවක් මාර්තු මස 15 දිනට ප්‍රථම ලබාදීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි අධිකාරියට ‍දැනුම්දුන් විදුලිබල අමාත්‍යවරයා, අදාළ පිරිස් වෙත විදුලිය ලබාදීමේ කටයුතු ඉතාමත් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට සහභාගි වූ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ විදුලිය අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් කැපවිය යුතු බවත්, එසේම සමෘද්ධිලාභී පවුල් වෙත විදුලි සබදතා ලබාදිම කඩිනම් කිරීමේ එක් පියවරක් වශයෙන් ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාශ මට්ටමෙන් අදාළ පිරිස් කැඳවා, ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් මගින් අන්තර් ජාලය හරහා ඔවුන් මෙම වැඩසටහනට ලියාපදිංචි කරවිය යුතු බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *