“ගම සමග පිළිසඳර” වැඩසටහනේදී ඉදිරිපත් වූ ගැටලුවලට මසක් තුළ විසදුම්

(කොළඹ, ලංකාපුවත්) –“ගම සමග පිළිසඳර” වැඩසටහනේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනතාව ඉදිරිපත් කළ සියලු ගැටලු මසක් තුළ විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් කැදවා දැඩිව අවධාරණය කළාය.

ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල, කිවුලේකඩ මහා විද්‍යාලයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී මතු වූ ගැටලු වලට අදාළ විසඳුම් සාකච්ඡා කිරීම සඳහා පළාතේ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ත්‍රිකුණාමලය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

ත්‍රිකුණාමලය උතුර අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල පවතින අධික ගුරු හිඟය පියවීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසත්, ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමට අවශ්‍ය ලියකියවිලි සකසා අවසන් කරන ලෙසත් ආණ්ඩුකාරවරිය පළාත් අධ්‍යාපන ලේකම් වරයාට උපදෙස් දුන්නාය.

ඊට අමතරව එම ප්‍රදේශයට මහත් අඩුපාඩුවක්ව පවතින ගුරු නිවාස ඉදි කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉතා කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි ද උපදෙස් දුන්නාය.

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් කඩිනමින් ජනතාවට ලබා දීම සඳහා කටයුතු කරන ලෙස එදින ජනාධිපතිවරයා විසින් සිදු කළ යෝජනාව පිළිබඳ අවධානය යොමුකර එම ඉඩම් ලබාදීමට අවශ්‍ය තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉතා කඩිනමින් රැස් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නම් කෘෂිකාර්මික විප්ලවයක් ඇති විය යුතු බවත් එය සාර්ථක වීමට නම් ස්වභාවික පරිසර පද්ධතිය රැකෙන අයුරින් එම විප්ලවය ඇති කළ යුතු බවත් මෙහිදි සාකච්ඡා කෙරිණි.

යුධමය වාතාවරණයට පෙර ප්‍රදේශයේ ඉඩම් වල ජීවත් වූ පුද්ගලයන් සඳහා ඉඩම් ලබා දීම සහ විකල්ප ඉඩම් ලබා දීමට අවශ්‍ය කටයුතු පිළිබඳ සොයා බලා එම ක්‍රියාවලිය ඉක්මන් කිරීමටද, වනාන්තර ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට ද කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරිය මෙහිදී අවධාරණය කළා ය.

ඊට අමතරව කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමේදී හැකි තරම් දුරට වස විසෙන් තොර කෘෂිකාර්මික රටාවක් දිස්ත්‍රික්කය තුළ හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු නොපමාව ඉටු කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරියට උපදෙස් දුන්නාය.

රැකියා ලක්ෂයේ වැඩසටහනට අමතරව දැනට විවිධ ආයතන සේවය කරන අනියම් සේවකයින් ස්ථිර කිරීමට අවශ්‍ය කටයුතු ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික්කය තුළ තිබෙන සෞඛ්‍ය ගැටලු හඳුනාගනිමින් එම ගැටළු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා මධ්‍යම රජය සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගන්නා ලෙස ද මෙහිදී ආණ්ඩුකාරවරිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නාය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ක්ෂේත්‍රයට අදාළ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද මෙහිදී වැඩි අවධානයක් යොමුවිය.

මසක් තුළ මෙම සාකච්ඡා කළ ගැටලු විසඳීම පිළිබඳව යළිත් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *