පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි

(කොළඹ, ලංකාපුවත්) –පොල්ගස් කැපීම තහනම් කිරීමට යයි.ඒ අනුව පොල් ගස ගස් හෙලීමේ පනතට ඇතුලත් කෙරේ. දැනට මෙම පනත මඟින් කොස්, දෙල් හා තල් ගස් කැපීමට අවසර ලබාගැනීම අනිවාර්ය කර තිබේ. මේ වසර තුල මේ සඳහා අවශ්‍ය පියවර ගැනෙන බව වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ කමිටුවේදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය. කමිටු රැස්වීම රමේෂ් පතිරණ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) නයිවල ජයසිංහ උත්සව ශාලාවේදි පැවැත්විණ.

ඇමති රමේෂ් පතිරණ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොල් ඉඩම් කට්ටි කර විකිණීම සම්බන්ධයෙන් දැනට පවතින නීතිරීති සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි. අක්කර 10කට වැඩි පොල් ඉඩමක් කට්ටි කිරීමට නම් අනුමැතිය ලබාගත යුත්තේ පොල් සංවර්ධන මණ්ඩලයෙනි. අක්කර 2කට වැඩි ඉඩම් කට්ටි කිරීමට පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කලේය. ඊට අඳාලව පනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් අංශ වෙත යොමු කර තිබේ.

පොල් මිල ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා රජයේ අපේක්ෂාව බවත් ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කලේය. මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය බිලියන 2.8කි. මේ නිසා පොල් වගා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විශේෂ අවධානය යොමු කර තිබේ. පසුගිය රජය විසින් අකර්මන්‍ය කර ඇති කප්රුක සමිති නැවත ආරම්භ කෙරේ.පොල් වගාව සඳහා කන්න ණය යෝජනා ක්‍රමයක්ද හඳුන්වා දීමට නියමිතයි.ඒ අනුව 3.5% පොළියට මිලියන 3ක් දක්වා පොල් වගාවට අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමතිවරයා මෙහිදී සඳහන් කලේය.පොල්තෙල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා ද පියවර ගැනේ. පොල් වගා කිරීමේදී අවශ්‍ය ජල පහසුකම් ලබාගැනීම සඳහා අක්කරයකට රු.40,000ක මුදලක් ලබා දීමටද සැලසුම් කර ඇතැයි අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කලේය.

පසුගිය යහපාලන රජය සමයේදී දොම්පෙ ප්‍රදේශයේ ඉඩමක පොල් ගස් කපා දැමීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා මෙහිදී සඳහන් කලේය.පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා කල පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය. යහපාලන කාලයේදී දොම්පෙ ප්‍රදේශයේ රජයේ ඉඩමක පොල් ගස් විශාල සංඛ්‍යාවක් කපා දැමූ බවත් එම එක් ගසක් රුපියල් දහස බැගින් අලෙවි කල බවත් ඊට වගකිව යුත්තන්ට මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙරට කජු නිෂ්පාදකයන් සහ වගාකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරුණි.මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා සඳහන් කලේ කජු ගස් කැපීම හේතුවෙන් කජු නිෂ්පාදකයන් අසීරුතාවට පත්ව ඇති බවයි. රාජ්‍ය ඇමති චානක වක්කුඹුර මහතා මේ සම්බන්ධයෙන් රජය සිය අවධානය යොමු කර ඇති බව කීවේය.මෙරට කජු වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 25,000කි.එහෙත් නිස්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 12,500ක් පමණි.මේ වනවිට අක්කර 6,500ක කජු අලුතින් වගා කිරීමට රජය කටයුතු යොදා තිබේ. කජු වගාකරුවන්ට සහනාධාර ලබාදීමේ වැඩපිලිවලක්ද ක්‍රියාතමකයි.කජු නිෂ්පාදකයන්ට ඒ සඳහා සහන සැලසෙන බව ඇමතිවරයා එහිදී සඳහන් කලේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ කාර්මික ජනපද වල දැනට වසා දමා ඇති කර්මාන්ත ශාලා වෙනුවට නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කඩිනමින් පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී උපදෙස් දුන්නේය.දැනට ගම්පහ දිස්ත්‍රික්කය තුල එක් කාර්මික ජනපදයක් පිහිටා ඇති අතර කර්මාන්ත පුර දෙකක් මිනුවන්ගොඩ සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පිහිටා තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ආයෝජන ප්‍රවර්ධන කලාප සංඛ්‍යාව 05කි.ගම්පහ දිස්ත්‍රික්කයේ ඒකල කාර්මික ජනපද වලට අමතරව නව කාර්මික ජනපදයක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිනි.

විවිධ අමාත්‍යංශ රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අඳාල ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සමග සම්බන්ධ නොවීම නිසා විවිධ ගැටලු මතුව ඇතැයි පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහාත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හා දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටුව හරහා අඳාල යෝජනා ලබා ගන්නා ලෙස උපදෙස් දුන්නේය. සංවර්ධන ව්‍යාපෘති සාර්ථක වීමට නම් අදාල ප්‍රදේශ වල ජනතා සහය ද අත්‍යවශ්‍ය බැවින් මේ සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ කමිටු සාකච්ඡාව සඳහා බස්නාහිර ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර, නාලක ගොඩහේවා, සිසර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෝකිලා හර්ෂණි ගුණවර්ධන,උපුල් මහේනද්‍ර රාජපක්ෂ, දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් සියලු ප්‍රාදේශීය ලේකම්වරු සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *