HNDE සිසුන්ගේ විරෝධතාවයට ආණ්ඩුකාරවරියගෙන් විසදුම්

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර පළාත් ඉංග්‍රීසි ගුරු විභාගයේ ප්‍රශ්ණ පත්‍ර කලින් පිට වුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු වන බවට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ලබා දුන් පොරොන්දුව හමුවේ අදාළ විභාගයට පෙනි සිටි සිසුන් දියත් කළ විරෝධතාවය නතර කිරීමට ඔවුන් පියවර ගත්හ.

පුරා දින එකහමාරක් පැවති එම විරෝධතාවය අවසන් කර ඔවුන් ආණ්ඩුකාරවරියට ප්‍රශංසා කරමින් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටින් ඉවත් වීමටද කටයුතු කළහ.

පසුගිය පෙබරවාරි 25 වනදා නැගෙනහිර පළාත සදහා ඉංග්‍රීසි ගුරුවරුන් බදවා ගැනීමට මෙම විභාගය පැවති අතර එහි අභියෝගතා පරීක්ෂණයේ ප්‍රශ්ණ 17ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති පවත්වන දමිළ ගුරුවරයෙකුට ලැබී ඇති බවට මෙම සිසුන් චෝදනා කරති. මීට පෙරද එම සිසුන් මේ ගැන ආණ්ඩුකාරවරියට ලිඛිත පැමිණිල්ලක් සිදු කළ අතර එහිදි ආණ්ඩුකාරවරිය ඒ පිළිබද විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. තත්වය එසේ තිබියදී මෙම සිසුන් ඊයේ (22) පෙරවරුවේ සිට ආණ්ඩුකාරවරිය හමුවිය යුතු යැයි පවසමින් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළහ.

විශේෂ රැස්වීම් කිහිපයකට සහභාගි වීම සදහා කොළඹ සිටි ආණ්ඩුකාරවරිය අද (23) පෙරවරුවේ ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම සිසුන්ගේ ගැටළුව කඩිනමින් විසදා දෙන බව පැවසුවාය. එහිදී සිසුන් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා සිටියේ මෙම විභාගයට පෙනී සිටි නැගෙනහිර පළාතේ සිසුන්ට එම පළාතේම පත්වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසය.

ඊට අමතරව මෙම විභාගයට පෙනි සිටීම සදහා වන වයස් කාලසීමාව අවුරුදු 40 දක්වා වැඩි කර දෙන ලෙසත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනත් විෂයයන් සහිත උපාධිධාරීන් සදහා ඉංග්‍රීසි ගුරු පත්වීම් ලබාදීම නතර කරන ලෙසත් ඔවුන් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා සිටියහ.

අනතුරුව එම කරුණු මත පදනම්ව ඉදිරි බදවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි පළාත් අධ්‍යාපන ලේකම්වරයාට ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය. මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *