චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහතා ඊයේ (29) සවස දුරකතන සංවාදයක නිරත වෙමින් සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කළහ.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදවු කරන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්ති සහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීරසාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිතුමාට සහ චීන රජයට සිය හෘදයංගම කෘතඥතාව පළ කළේය.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ගැන ද ජනාධිපතිවරයාගේ ස්තූතිය පුද කෙරිණ.

ළඟදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් පුද කරමින් කතා බහට එක් වූ චීන නායකයා කොවිඩ් 19 ප්‍රබල අභියෝගයක් වූවා සේම චීන ශ්‍රී ලංකා සබඳතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් විණැයි සඳහන් කළේය.

“කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක්. ඒවා කඩිනමින් නිම වනු දැකීම අපේ අපේක්ෂාව. වරාය නගරය, විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත්. එය රැකියා විරහිතභාවයටත් විසඳුමක්” චීන ජනාධිපතිතුමා කීය.

හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුටුදායක ලෙස ඉදිරියට යමින් තිබේ.

චීන – ශ්‍රී ලංකා සබඳතාවන්හි උපාය මාර්ගික ප්‍රවේශය දෘශ්‍ය ප්‍රතිඵල ලැබෙන අයුරින් තවත් දියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ චීන ජනාධිපතිතුමා දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කළයුතු බව ද පෙන්වා දුන්නේය.

චීන මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිරිනැමුණු හුවමාරු මූල්‍ය පහසුකම අගය කළ රාජපක්ෂ මහතා එය ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට නිසැකවම ඉවහල් වනු ඇතැයි කීය.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හම්බන්තොට තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ස්ථාපනයට චීනයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කළ රාජපක්ෂ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සිය සුබාශීංසන පුද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *