හෙට සිට භාවිතයෙන් ඉවත්වන ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග

(කොළඹ, ලංකාපුවත්) – හෙට (31) සිට ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 06ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝන 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන) , කොට්න් බඩ් ( වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා) , හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද මෙයට අයත් වන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

මීට අදාල ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර ඇතැයිද ඇමැතිවරයා පවසයි.

සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සළකා බලමින් දැනට නිපදවා අවසන් කර ඇති ඇති අදාල නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පමණක් මාස තුනක් වැනි කෙටි කාලයක් ලබා දෙන බවත්, මෙම නිෂ්පාදන අපනයනය සඳහා කිසිදු බාධාවක් පනවා නොමැති බව ත් ඇමැතිවරයා අවධාරණය කරයි.

දිනපතා එකතු කරන නාගරික ඝන අපද්‍රව්‍යවලින් සියයට 5.9 ක් පොලිතීන් හා ප්ලාස්ටික් වේ. එමෙන් අප රට තුළ දිනකට ප්ලාස්ටික් හා පොලිතීන් ටොන් 400ක් පමණ එකතු කරනු ලබයි. PET බෝතල් භාවිතය මාසයකට ටොන් 1,250ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. ඉන් ප්‍රතිචක්‍රියකරණය කරනු ලබන්නේ ටොන් 250ක් පමණි. අප රටේ සමස්ත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය දෙස බලන විට සමස්ත ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට 15-20ත් අතරප්‍රමාණයකි.
දිනකට දහනය කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 232කි. මෙරටට ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ටොන් ලක්ෂ 03ක් ආනයනය කරනු ලබන අතර නිමි භාණ්ඩ ද විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. ආනයනය කරන ලද ප්ලාස්ටික්වලින් සකසන ලද නිමි භාණ්ඩ වශයෙන් නැවත සියයට 30ක් පමණ අපනයනය කරනු ලැබේ. සමස්ත ආනයනයෙන් සියයට 24ක් පමණ ප්‍රතිචක්‍රියකරණය කරනු ලබයි.

කෙසේ වුවද මෙමගින් සිදුවන පාරිසරික හා සෞඛ්‍ය ගැටළු අවධානයට යොමු කරමින් වත්මන් රජය විසින් මේ සම්බන්ධව අදාල පියවර ගත් බව ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *