රන්ජන්ගේ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

(කොළඹ, ලංකාපුවත්) – සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සදහන් කළේ පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතා මේ වන විට වසර හතරක සිර දඩුවමක් විදිමින් සිටියි.

සිර දඩුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් බැවින් හා එය අපරාධ ගණයට අයත් නොවන වරදක් බැවින් මන්ත්‍රීධුරය අහෝසි කිරීමට නිතිමය පදනමක් නොමැති බව රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥවරයා අධිකරණයට සදහන් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කාර රංජන් රාමනායක මහතා ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *