” හාර්ඩි තාක්ෂණ ආයතනය ” ලෙස එක් ආයතනයක් ස්ථාපිත කිරිමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ අම්පාර හාර්ඩි කාර්මික විද්‍යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය අනුබද්ධ ශ්‍රි ලංකා උසස් තාක්ෂණ ආයතනය (SLIATE) යටතේ ක්‍රියාත්මක අම්පාර හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය යන ආයතන ද්විත්වය ඒකාබද්ධ කොට හාර්ඩි තාක්ෂණික ආයතනය (HIT), ලෙස එක් ආයතනයක් පිහිටුවීමට ඊයේ (20) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබිණි.

1960 දශකයේ පැවැති සංවර්ධන අවශ්‍යතාවයන්ට සමගාමීව ශ්‍රි ලංකාවේ පලමු බහුකාර්ය ජලාශ ව්‍යාපෘතිය ලෙස ඇරඹුණු ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය අරමුණු කරගෙන කාර්මික නිලධාරීන්ට විධිමත් ඉංජිනේරු දැනුමක් ලබා දීම සදහා මූලාරම්භයක් ලෙස හාර්ඩි ආයතනය ආරම්භ කළ අතර පසුකාලීනව අවස්ථාවන් ගණනාවකදී ආයතනයේ විෂය පථයන් වෙනස් විය.

ජාතික ඩිප්ලෝමා (NVQ – 5) මට්ටම සහ උසස් ජාතික ඩිප්ලෝමා (NVQ – 6) පිරිනමමින් අම්පාර හාර්ඩි කාර්මික විද්‍යාලය වශයෙන්ද , ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය (SLIATE) යටතේ NDT කෘෂිකර්ම පාඨමාලාව පවත්වමින් අම්පාර හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය ලෙස ක්‍රියාත්මක කරමින්ද ආයතනය ද්විත්වයක් ලෙස මේ දක්වා කටයුතු කෙරිණි.

එක් භූමියක ආයතන ද්විත්වයක් ලෙස බෙදී පරිපාලනය කිරිමේදි භෞතික හා මානව ගැටලු රාශීයක් මතු වි ඇති අතර ආයතනයේ සහ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගේ ඵලදායිතාවය ඒ නිසා අවම විය. නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සෘජු මැදිහත්විමෙන් , ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාගේ මගපෙන්වීමෙන්ද එක් ආයතනයක් ලෙස විධිමත් අධ්‍යාපනයක් ලබා දෙමින් නිපුණතාවයෙන් සවිබල ශිෂ්‍ය පරපුරක් දැයට දායාද කිරිම සඳහා කටයුතු කිරිමත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ආයනයක් බිහිකිරිමත් වෙනුවෙන් මෙම යෝජනාවන් ඉදිරිපත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *