රසායනික පොහොර ගෙන්වීම නවත්වනවා – ජනාධිපති

(කොළඹ, ලංකාපුවත්) – රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

පොහොර සහනාධාරය වෙනුවට ගොවීන්ට කාබනික පොහොර දීමට සැලසුම් කරන බව පැවසූ ජනාධිපතිවරයා එමඟින් වාර්ෂිකව පොහොර ආනයනය කිරීමට වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජනජීවිතය නඟා සිටුවීමට යොදා ගත හැකි බවත් පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (22) හමු වූ අවස්ථාවේදීය.

රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. වැව්, ඇළවේලි සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ. ප්‍රතිකාර සඳහා වැය වන මුදල සහ ජිවිතවලට වන බලපෑම ඉහළය. නීරෝගි සහ ඵලදායී පුරවැසියකු බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඒ වෙනුවෙන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කරන බව ජනාධිපති රාජපක්ෂ මහතා පැවසීය.

මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සියලු පාර්ශ්ව මැදිහත් විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

තමා බලයට පත් කිරීමෙන් ජනතාව ප්‍රතිපත්තිමය වෙනසක් අපේක්ෂා කළා. රට වෙනුවෙන් එම අපේක්ෂා ඉටු කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේය.

එතනෝල් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කිරීමෙන් අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සීනි සමාගම අත් කර ගත් ලාභය මිලියන 1100කි. වසර 20කට ආසන්න කාලයක් අනියම් හා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ 2,500කට ආසන්න පිරිසක් ස්ථීර කිරීමට, උසස්වීම් සහ ප්‍රසාද දීමනා දීමට එමඟින් හැකි වූ බව ලංකා සීනි සමාගමේ සභාපතිවරයා පැවසීය.

පාඩු ලැබූ ආයතන රැසක් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළින් පසු ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට හැකි වූ බව සභාපතිවරු පෙන්වා දුන්හ.

‘සෞභාග්‍යයේ දැක්ම‘ තුළින් ආයතන ළඟා විය යුතු ඉලක්ක පැහැදිලිව දක්වා තිබේ. කැබිනට්, රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ ආයතන සහ අත් කර ගත යුතු ප්‍රගතිය පැහැදිලිව සඳහන් කර ඇත. සාමූහික වගකීමක් ඇතිව වැඩ කර ජනතාව බලාපොරොත්තු වූ ප්‍රතිපත්තිමය වෙනස ළඟා කර ගැනීමට කැප වන ලෙස ජනාධිපතිවරයා සභාපතිවරුන්ට පැවසීය.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *